Spread the love

“දින 7ක් ඇතුළත උඹව මරා දමනවා… උඹේ පවුලේ අයත් මරා දමනවා” යැයිි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියකට එම අංශයේ රඳවා සිටි කාන්තා රැඳවියක් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධියට මුහුණ දුන් ජේලර්වරිය බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11) බොරැල්ල පොලීසියට නියෝග කළේය.

“දින 7ක් ඇතුළත උඹව මරා දමනවා… උඹේ පවුලේ අයත් මරා දමනවා” යනුවෙන් අදාළ මරණීය තර්ජනය එල්ලකර තිබෙන බව වාර්තා වෙයි.

එමෙන්ම බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව පිටස්තර පුද්ගලයන් සමග දුරකථන සංවාද පවත්වා තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවන ලෙසටද පොලීසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සැකකාර කාන්තාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතරතුර ජංගම දුරකථන භාවිත කිරීම, සෙසු සිරකාරියන් සමග අසභ්‍ය ආකාරයෙන් හැසිරීම ඇතුළු චෝදනා කිහිපයක් සැලකිල්ලට ගෙන ඇයව කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරුකර ඇති බවය.

එසේ මාරු කරන ලද ඇයව නැවත වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මාරුකර එවන ලෙසට කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට ලද ලිපියකට අනුව පසුගිය දිනක ඇයව නැවත වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත මාරු කර ඇති බවද පොලීසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවී තිබේ.

දූෂණ චෝදනා මත කළුතර බන්ධනාගාරය වෙත ස්ථාන මාරුකර යවන ලද එම සැකකාර කාන්තාව නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේ කෙසේද යන්න පිළිබඳව එහි ප්‍රධාන ජේලර්වරියට සැකයක් මතුවී තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතුවල නිරත වෙමින් සිටින අවස්ථාවේදී අදාළ සැකකාර කාන්තාව එම කාන්තා අංශයේ වැසිකිළියක් තුළට ගොස් කෙසෙල්වත්තේ දිනුක නමැති පුද්ගලයකු සමග දුරකථනයෙන් සංවාද පවත්වමින් සිට ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත.

එම සිද්ධිය දුටු පැමිණිලිකාර ජේලර්වරිය අදාළ සැකකාර කාන්තාව වැසිකිළියෙන් එළියට ඇද ප්‍රශ්න කරන අතරතුරදී ඇය පොළොවේ දිගාවී සිය දෑතට වැලිගෙන ජේලර්වරිය දෙසට දමා ගසමින් පරුෂ වචනයෙන් බැන වැදී ජේලර්වරිය හා ඇයගේ පවුලේ අය දින 7ක් ඇතුළත මරා දමන බවට තර්ජනය කර ඇති බවද පොලීසිය අධිකරණයට දැක්වූ කරුණුවල සඳහන් ය.

ඒ අනුව බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව ජංගම දුරකථනයෙන් සංවාද පැවැත්වූ බව කියන පුද්ගලයන් කවුද යන්න පිළිබඳ හඳුනාගැනීම සඳහා අදාළ දුරකථන සමාගම්වලින් දුරකථන වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙසට බොරැල්ල පොලීසිය කරන ලද ඉල්ලීමකට අධිකරණයෙන් අවසර හිමිවිය.