Spread the love

නිමල් රාජපක්ෂ 

2025 වර්ෂය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 3743 කට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

මේ අනුව පසුගිය වසර තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 791 ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 4734ක් කාර්යාංශයට ලැබී තිබේ. තවද මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 20ක් වන අතර, ඊට නීතිවිරෝධි ක්‍රියාවල යෙදුණු බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන දෙකක්ද අයත් වේ. මෙම කාලය තුළදී වංචනිකයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරට, බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 15ක්ද අයත්වේ.

මේ අතර, විදේශ රැකියා වංචා වැලැක්වීම සඳහා විශේෂ පුහුණුව ලත් පොලිස් නිළධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් ඒකකයක්ද පසුගිය වසරේදී කාර්යාංශය තුළ ස්ථාපනය කිරීමට පියවර ගත් අතර, එමගින් වඩා විනිවිදභාවයකින් යුතුව පැමිණිලි කඩිනමින් විසඳීමට හා වංචාකරුවන්ට දඩුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

වර්තමානයේදී සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගනිමින් විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම් ඉහළ යමින් පවතින බැවින්,  එවැනි පුද්ගලයින්ට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කාර්යාංශය ඇමතීමෙන් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි .