Spread the love

විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 2015.12.31 ට පෙර සහ 2016.01.01 සිට 2020.01.01 දක්වා විශ්‍රාම ගොස් ඇති සියලු ම විශ්‍රාමිකයන් වෙත, විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 67,608ක් අවශ්‍ය වන බවයි.

“රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම සඳහා අවස්ථා දෙකක දී රජය විසින් උත්සාහ දරනු ලැබුවත් පැවති මූල්‍ය හා ආර්ථික දුෂ්කරතා හමුවේ ඒ සඳහා ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි වීමත්, රජයේ ප්‍රමුඛතා වෙනස් වීමත්, විශ්‍රාමිකයින් සියලු දෙනාටම ප්‍රමාණවත් සහනයක් ලබාදිය යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියත් හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වී ඇති නමුත් මඟ හැරීමක් සිදු වී නොමැත” යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා පැවසිය.