Spread the love

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇයව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

වයස අවුරුදු 23ක් වන එම කාන්තාව කපුගෙදර ගිම්හානි තරුෂිකා දෙව්මිණි නමැති මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.

ඇය පන්නිපිටිය, 174 මාර්ගයේ සම්බාහන මධ්‍යස්ථානයක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු මෙම කාන්තාවද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.

ඒ සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට මහරගමට පැමිණි පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

ඔහු ඒකනායක කළුපහන මිෂෙල් තාරක  අක්මන් නමැති මහරගම, දඹහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයා වෙඩික්කරුගේ කළමනාකරු ලෙස සිටින පුද්ගලයා බවද පොලිසිය පවසයි.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.