Spread the love

නිමල් රාජපක්ෂ
ජනාධිපතිතුමාගේ අය වැය යෝජනා ප්‍රකාරව සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ තිරසර සැළසුම් කරණයට අනුව භාණ්ඩ ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කරමින් බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට යොදාගැනීමට නියමිත භූමි ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා අද (28) දින සහභාගි විය.

මෙරට ආර්ථිකයේ ආනයන අපනයන ක්‍රියාවලිය පුනරුද යුගයට යාවත්කාලීන කරමින් ප්‍රවාහන ක්‍ෂේත්‍රය විධිමත් සහ ශක්තිමත් කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙම භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සිදු කෙරේ.

ආහාර දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි අක්කර පනහක පමණ වන දැනට ඌන උපයෝජනයක්ව පවතින, අතහැර දමා ඇති භූමි ප්‍රදේශය සංවර්ධනය කර මෙම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීමට සැළසුම් කර ඇත.

මෙහි දැනට පවතින ආර්ථික මධ්‍යස්ථානයට, සති පොළට, හමුදා කඳවුරට සහ ඖෂධ ගබඩාවට නව භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමත් සමග පහසුකම් රැසක් සැලසේ.