නිමල් රාජපක්ෂ
විගමණික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන සුභසාධන පහසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැනගත් තමන් පුදුමයට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කමිටු සාමාජික අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ල, දියත උයනේදි අද දින (11/20) පැවැත්වූ විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු අලෙවි පොලෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ නිරෝෂණ මහතා, “විදේශ රැකියාවක නිරත වෙලා උපයන ලද ධනයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් දායක වෙලා, තමන්ගේ පවුලේ ඥාතීන් එක්ක එකතුවෙලා සාර්ථකව ව්‍යාපාර වල නියැලෙන ශ්‍රමිකයින්ට හොඳ වෙළඳපොලක් නිර්මාණය කිරීමේ අරමුණෙන් තමයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම විගමණික ශ්‍රමික නිශ්පාදන අලෙවිපොල සංවිධානය කරලා තියෙන්නේ. රටේ අභිමානය, පෞරුෂය, කීර්තිය ලෝකය හමුවට අරන් යන අමාත්‍යාංශයක් තමයි මේ අමාත්‍යාංශය. අපේ රටට අවශ්‍ය විදේශීය මුදල් රටට ගෙන එන්න නායකත්වය දෙන්නෙත් මේ අමාත්‍යාංශය. රටේ අභිවෘද්ධිය, ඉදිරි පැවැත්ම තීරණය කරන තීරණාත්මක අමාත්‍යාංශයක් තමයි ඔබ නියෝජනය කරන්නේ.
විදේශ රැකියාව අවසන් කර මෙරටට පැමිණි ශ්‍රමිකයින් වෙනුවෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට හා දිරි ගැන්වීම් සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කරලා තියෙනවා කියලා කියවුණා. මට නිළධාරී මහත්මයෙක් ලොකු ලිපි ගොනුවක් දුන්නා මේ ප්‍රමාණයේ සුභසාධන කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කරනවා කියලා. මමත් ඒ අවස්ථාවේ පුදුම වුණා මෙච්චර සුභසාධන පහසුකම් ප්‍රමාණයක් විගමණික ප්‍රජාව වෙනුවෙන් සලසනවා කියලා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ එතරම් කාර්යයන් ප්‍රමාණයක් කරන ආයතනයක්. විදේශ ගත ශ්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් අපි කෝප් කමිටුවේ සාමාජිකයින් නව යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.
විදේශ රැකියාව අවසන්වී මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නියැලෙන ශ්‍රමිකයින්ගේ නිශ්පාදන මෙහිදී සහන මිලට මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබූ අතර, රෙදිපිළි, අත්බෑග්, සපත්තු, කුළුබඩු, රූපලාවන්‍ය නිශ්පාදන, ලී බඩු, දේශීය ඖෂධ හා ආහාර නිශ්පාදන ඇතුළු භාණ්ඩ රැසක් මිලදී ගැනීමට අලෙවි කුටි 60කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර තිබුණි.
