ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීමට SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන මඟින් අවශ්‍ය සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT- IFAD) එකඟතාවය පළ කරයි.
එම අරමුදලේ මෙරට නියෝජිත හා ආසියානු හා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා SHERINA TABASSUM මහත්මිය ඊයේ (13) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී අදාල ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කළාය.
මෙරට සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට හෙක්ටයාර් 16,000ක් තෝරාගෙන ඇත. ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉළක්ක කර ගනිමින් එම බඩඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරේ.
උසස් තත්ත්වයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිතය.
