Spread the love

නිමල් රාජපක්ෂ 

දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ විනාශය නොතකා, ජනතාව විසින් පෙන්නුම් කරන ලද ශක්තිය සහ සහයෝගීතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
“අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ. අපේ ජනතාව ශක්තිමත්, ඒ තුළින් අපි මුහුණ දුන් සෑම අර්බුදයකින්ම ජය ගැනීමට හැකි වී තිබෙනවා,”  දෙසැම්බර් 4 වන දින කොළඹ ICT රත්නදීප හෝටලයේ පැවති NASSCOM විධායක කමිටු සහ SLASSCOM සංගම් හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ඩිජිටල්-ආර්ථික සහයෝගීතාව, ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා සමාගම් 3,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ඉන්දියාවේ තාක්ෂණික  කර්මාන්තයේ ඉහළ පෙළ ආයතනයක් වන NASSCOM සහ සාමාජික සමාගම් 350 කට අධික සංඛ්‍යාවක් සමඟ IT සහ BPM අංශය සඳහා වන ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයක් වන SLASSCOM සංගමය මේ අවස්ථාවට  එක් විය.

රටේ මෑත කාලීන අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ සිය වාර්ෂික  සංචාරයට එක් වූ NASSCOM නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරිය  විසින් පැසසුමට ලක් කරන ලද අතර, ඔවුන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ නැවත ගොඩ නැගීම සඳහා  පන්නරයක් ලබා දුන් බව පැවසුවා ය. නැවත පදිංචි කිරීම,  ආපදාවලට මුහුණ දීම සඳහා පෙර සූදානම ශක්තිමත් කිරීම, ගංවතුර පාලනය සහ ප්‍රධාන යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ඇතුළත් ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා රජය, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව කෙටි කාලීන සහ දිගුකාලීන තක්සේරු ක්‍රියාමාර්ග ගෙන යන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළාය.

සාකච්ඡාව අතරතුර  අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම ස්ථිරව පවතින බව අවධාරණය කළාය. රජය මධ්‍යම සහ දිගු කාලීන ඉලක්කයක් ලෙස 7% ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ඇති බවට සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය,   අපනයන විවිධාංගීකරණය සහ ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා පැමිණි තාක්ෂණික නියෝජිත පිරිසගේ සහයෝග අපේක්ෂා කරන බව ද අවධාරණය කළා ය. “ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමට අපි කැපවී සිටිනවා. මේ ක්ෂේත්‍ර සඳහා අපි ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.