ක්‍රිකට් අතුරු පාලක කමිටුව හා ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ක්‍රිකට් ආයතනයට පැමිණියේ ය.
අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්සංක බන්දුල කරුණාරත්න හා විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබුවේ, දින 14 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදියි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් , සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පිහිටුවීමට පසුගියදා පියවර ගත්තේ ය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රකිත රාජපක්ෂ, උපාලි ධර්මදාස සහ හිෂාම් ජමාල්ඩීන් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සමාජිකයින් ලෙස පත් කර තිබිණ.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ, අතුරු පාලක කමිටුව ඉවත් නොකරන්නේ නම්, ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නා බවට ජනාධිපතිවරයා තමාට පැවසූ බවයි.
