Spread the love

නිමල් රාජපක්ෂ –

දුම්රිය සේවාව විධිමත් සහ කාර්යක්‍ෂම සේවාවක් බවට පත්කරලීමේ රජයේ තිරසර ජාතික වැඩපිළිවෙල යටතේ දුම්රිය පරිපාලනය සහ ක්‍රියාකාරී යාන්ත්‍රණය බලගැන්වීම වෙනුවෙන් මේ වනවිටත් පියවර රැසක් ගෙන ඇතැයි .ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.
ඇමතිවරයා එසේ පැවසුවේ නවක දුම්රිය ස්ථානාධිපතිවරුන් 101 ක් සදහා පත්වීම් ලිපි අද (.05) දින කොළඹ 10, මරදාන පිහිටි දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ප්‍රදානය කල අවස්ථාවේදීය .

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාරව 2025.09.28 වන දින පවත්වන ලද තරඟ විභාගයෙන් සමත්ව සුදුසුකම් ලැබූ 101 දෙනෙකු විවෘත පදනම මත iii වන ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරු ලෙස බඳවා ගැනීම සිදුවිය.

දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට ප්‍රමුඛව අත්‍යවශ්‍ය වන මානව සම්පත ඉහළ කළමනාකරණයකින් යුතුව පවත්වා ගැනීමත්, දිගු කාලීනව පවතින තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමත්, යටිතල පහසුකම් නවීකරණයත් වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය ආරම්භ කළ සැලසුම් සහගත වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම නව ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම් සිදුකර ඇත.

මෙහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා :
‘දුම්රිය ස්ථානාධිපතිවරයා, මගී ජනතාව සමග සෘජුවම, සමීපව බද්ධවන නිලධාරියෙක්. හරියට කෝචිචියට එන්ජිම වගේ. දුම්රිය සේවාවේ පැවැත්ම, ගුණාත්මක සේවාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඔබ අතේ තියෙනවා. දුම්රිය සේවාව කාර්යක්‍ෂම කරන්න, රාජ්‍ය සේවාවට අද දින එක්වන ඔබ සියලු දෙනාටම දුම්රිය සේවාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කරන්න, බිඳ වැටී ඇති තත්ත්වය නැවත ගොඩ නගන්න විශාල වගකීමක් පැවරෙනවා. රට වෙනුවෙන්, දුම්රිය සේවාවේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් එම අත්හල නොහැකි වගකීම ඉටු කිරීමට ක්‍රියා කරන්න.

2024 වසරේ වත්මන් ආණ්ඩුව රට භාරගන්න විට තිබූ තත්ත්වය අභියෝගාත්මකයි. රටේ පරිපාලනය, රටේ ආර්ථිකය, ජනතාවගේ ජීවන තත්ත්වය, ප්‍රවාහන සේවා ඇතුලු සියලු ක්‍ෂේත්‍රවල බරපතල කඩා වැටීමක් එක්කයි මේ ආණ්ඩුව රටත්, ජනතාවත් භාරගත්තෙ. මේ ආණ්ඩුවට දැන් වසරක් ගතවෙලා, ප්‍රගති සමාලෝචනයක් තිබෙනවා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම පිළිබඳව. නාස්තිය, දූෂණය, හොරකම පිටු දකිමින් දැඩි මූල්‍ය විනයක් සහිතව ඉලක්කවලට ගමන් කිරීමට ගත් ක්‍රියාමාර්ග රටේ ආර්ථික ස්ථායිතාවයට විශාල පිටුවහලක් වුණා.

රජයක් විදියට ඩොලර් ආර්ථිකයත්, රුපියලේ ආදායමත් නිසි ලෙස කළමනාකරණය කළා. ප්‍රධාන ක්‍ෂේත්‍ර හතරක් ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව විදියට ආර්ථික දේහය යථාවත් කිරීමට අවශ්‍ය තිරසර ක්‍රියාමාර්ග ගනු ලැබුවා. රටට අදායම් උත්පාදනය සිදුකරන සංචාරක කර්මාන්තය, විදේශීය ශ්‍රමික ආදායම, රටේ අපනයන ආදායම, සෘජු විදේශ ආයෝජන ආර්ථික ක්‍රියාවලියට දායක කරගත්තා.

සංචාරක ව්‍යාපාරයෙන් 2018 වසරට පසු, වැඩිම වාර්තාගත සංචාරක ආගමනය සිදුවූ වසර බවට පසුගිය 2025 වසර පත්වෙනවා. ලක්‍ෂ 23 ඉක්මවූ සංචාරක පිරිසක් පසුගිය වර්ෂයේ රට තුළ සංචරණය කර තිබෙනවා. මෙතෙක් ලැබූ වැඩිම සංචාරක ආදායම ඉපයීමට හැකියාව ලැබුණා. ඉහළම සංචාරක පැමිණීම සිදුවන නොවැම්බර් මාසයේ සිට ඇරඹෙන කාලය, ස්වාභාවික ආපදා තත්ත්වය නිසා යම් බලපෑමකට ලක්වුණා. නමුත් ආපදාවෙන් පසු ඇතිවූ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් රජය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරීන්, විදේශීය සහන කණ්ඩායම්, ස්වේචාඡා කණ්ඩායම් සහ පොදුවේ සමස්ත ජනතාව එක්ව යටිතල පහසුකම් ගොඩනැංවීමට කටයුතු කළා. මේවනවිට රට කෙමෙන් ස්ථාවරභාවයට පැමිණ තිබෙනවා. තිබූ තැනට වඩා හොඳ රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සියලු දෙනාගේ සහයෝගයෙන් මේ වනවිට ක්‍රියාත්මකව පවතිනවා.

දිට්වා ආපදාවෙන් ලොකු හානියක්, වැඩි පාඩුවක් දුම්රිය සේවාවට සිදුවුණේ. කොළඹ සිට රඹුක්කන දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට සේවාව ලබාදුන්නා. මහනුවර දක්වා ප්‍රධාන මාර්ගය, පේරාදෙණිය පාලම සමග නැවත ගොඩනැගීමට අති දැවැන්ත මුදලක් වැයවෙනවා. ගම්පොල – නාවලපිටිය මාර්ගයට, උතුරු දුම්රිය මාර්ගයේ කොටස් සහ නැගෙනහිර මාර්ගයට විශාල වශයෙන් හානි සිදුවෙලා තියෙනවා. මෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට විශාල මුදලක් වැයවෙනවා. නවීන තාක්‍ෂණය යොදා ගනිමින් තිබුණු තත්ත්වයට වඩා උසස් මට්ටමින්, ප්‍රමිතිගත නිමාවකින් නවීකරණ කටයුතු සියල්ල සිදු කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ 14,674 ක් වන සමස්ත කාර්ය මණ්ඩලවල මූලිකත්වයෙන් රාජකාරියට එහාගිය වගකීම් සහගත සේවාවක් ඉටුකර හිතුවාට වඩා ජයග්‍රහණ ලබාදුන්නා. ඔවුන් ඒ දැක්වූ වගවීමට රජය වෙනුවෙන් ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

රජය විසින් ස්වාභාවික ආපදාව නිසි ලෙස කළමනාකරණය කළ නිසා ආර්ථික ස්ථායිතාවය තහවුරු කරන්න හැකි වුණා. මෙහිදී රාජ්‍ය සේවක යන්ත්‍රණය විශාල ශක්තියක් ලබාදුන්නා. රාජ්‍ය සේවාව කාර්යක්‍ෂමව පවත්වා ගන්න මානව සම්පත උඩට ගේන්න ඕනෑ. රාජ්‍ය සේවාව වෘත්තීය මට්ටමට ඔසවා තැබීමට කටයුතු කරන්න ඕනෑ. පසුගිය කාලයේ පැවති රාජ්‍ය සේවාව පිළිබඳ මහජනතාව තුල සුබදායී හැඟීමක් පැවතියේ නැහැ. නමුත් මේ ව්‍යසන අවස්ථාවේදී ඔවුන් ක්‍රියාකල ආකාරය නිසා රාජ්‍ය සේවාව පිළිබඳ මේවනවිට ග්‍රීන් ලයිට් එකක් ලැබිලා තියෙනවා. මේ තත්ත්වය අපි ඉදිරියටත් පවත්වා ගමු. වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න. නමුත් මහජන සේවාවේදී එක අරමුණකින් ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවෙන්න, රට වෙනුවෙන් හිටගන්න. පරාර්ථකාමී චින්තනයක් වෙනුවෙන් අභිමානවත් පෞරුෂයක් ඇති රාජ්‍ය සේවකයෙකු ලෙස රට ගොඩනැගීමට සිය දායකත්වය ලබාදෙන්න.’

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (පරිපාලන) දමයන්ති පරණගම, අතිරේක සාමාන්‍යාධිකාරි (යාන්ත්‍රික) කේ. කේ. හේවාවිතාන, අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) පී. ඩී. එස්. බී. චන්ද්‍රසේන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පරිපාලන) ආර්. එම්. එන්. එස්. කේ. කාංචන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) එන්. ජේ. ඉඳිපොලගේ, වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්. පී. විතානගේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න, යන මහත්ම මහත්මීහු සහ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය ස්ථාන අධිකාරි, වෘත්තීය සමිති නියෝජනය කරමින් නිලධාරීහු, නවක පත්වීම්ලාභීහු ඇතුළු විශාල පරිසක් එක්ව සිටියහ.