Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය හැටඅට දෙනෙකු (368) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් දෙදෙනෙකු (42) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දස දෙනෙකු (410) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, පසුගියදා ( 18) බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි.


ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලෝහිත ද සිල්වා ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් චන්දිම සිල්වා මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, අභියෝගාත්මක වෘත්තියක් සොයන දැයේ ජවසම්පන්න දූ පුතුනට විවිධ වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මව් බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා අවස්ථාව උදා කර දී ඇත. එහි උපරිම පල නෙලාගත් දූ පුතුන් 410 දෙනෙකු, නිත්‍ය අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 165 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 203 දෙනෙකු ද, ස්වේච්ඡා අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 12 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 30 දෙනෙකු ද වශයෙන් ආධුනික නාවිකයන් 410 දෙනෙකු 258 සහ 259 වැනි ආධුනික බඳවා ගැනීම් යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්‍රමුඛ පුහුණු ආයතනයක් වන, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය වෙත අනුයුක්ත විය.

මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම, මෙම විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති විසින් සිදු කෙරිණි. ඒ අනුව, 258 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය හා සියළුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි කේඒඩීජේ කරසිංහ විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ආර්ජීසීසී ධර්මදාස විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි පීජීඒඅයිඑස් අබේරත්න විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 258 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘පණ්ඩුකාභය’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, 259 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික කාන්තා නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ජේඑස්එස් ජයකොඩි විසින්ද, සියළුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික කාන්තා නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එස්එස්ටී රණවීර විසින්ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩීඑම්අයි චතුරි විසින් සහ දක්‍ෂතම ඉලක්කකාරියට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩබ්පීපීපීඑස් ජයවර්ධන විසින් හිමි කර ගන්නා ලදී. එමෙන්ම, 259 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘මහාමායා’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න