Spread the love

.

නිමල් රාජපක්ෂ
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය Purna Bahadur මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (9 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ හා නේපාලයේ පවතින වත්මන් දේශපාලන, ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා හා තානාපතිවරයා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හා නේපාලය අතර පවතින වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දෙරට අතර ශ්‍රී ලංකා – නේපාල ව්‍යාපාර සංසදයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවල් සමඟ මෙන්ම චීනය වැනි කලාපයෙන් බැහැර රටවල් සමඟද පවත්වාගෙන යන වෙළෙඳ සම්බන්ධතා පිළිබඳව නේපාල තානාපති ආචාර්ය Purna Bahadur මහතා දැනුවත් කළේය.

මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ වැලි, පොස්පේට්, සහල්, සීනි, ඇඟලුම් වැනි භාණ්ඩ ඇතුළත් කරගනිමින් ශ්‍රී ලංකාව හා නේපාලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව පිළිබඳවද අමාත්‍යවරයා සහ නේපාල තානාපති Bahadur මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එළඹෙන අගෝස්තු මාසයේදී රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම්කර ඇති “රත්නපුර ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය” සඳහා පැමිණෙන ලෙස නේපාල ගැනුම්කරුවන්ට ආරාධනා කළේය.