Spread the love

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ අද (28) සමත් වූහ.ඒ අනුව මෙම දැවීයාම ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක්විය.ශ්‍රී ලංකාව මීට පෙර ටෙස්ට් ඉනිමකදී දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූයේ 1994 වසරේදී මහනුවරදී පැවති තරගයකදී පාකිස්තානය හමුවේ ලකුණු 71කට දැවීයාමයි.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් හා ලහිරු කුමාර නොදැවී ලකුණු 10ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිවෙකුට ලකුණු දහයේ සීමාවට හෝ ළඟාවීමට නොහැකි විය.එහිදී දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූහ.දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ  මාර්කෝ යැන්සන් ලකුණු 13කට කඩුලු 7ක් දවාගත්තේය.ඔහු පන්දුවාර 6.5කදී මෙම කඩුලු දවාගැනීම විශේෂත්වයක්ය.එමෙන්ම යැන්සන්ගේ මෙම කඩුලු දවාගැනීම සැලකෙන්නේ 1904 වසරේදී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු වූ හියු ට්‍රම්බල් පන්දුවාර 7ක් ඇතුළත කඩුලු 7ක් දවාගැනීමෙන් පසු ටෙස්ට් පිටියේ එවැනි පන්දු යැවීමක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසින්ය.