නිමල් රාජපක්ෂ.
ස්විට්සර්ලන්ත රජයේ නිළ ආරාධනයකට අනූව ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ඇතුලු ශ්‍රී ලාංකේය දේශපාලන දූත පිරිසක් ස්විට්සර්ලන්තය බලා පසුගියදා අළුයම දිවයිනෙන් පිටත්විය.
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා වසර 70ක් පිරීම නිමිත්තෙන් ස්විට්සර්ලන්ත රජය මගින් සංවිධාන කෙරුණු මෙම චාරිකාවට නිළ ආරාධනය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් ( Siri Walt ) මහතමිය විසින් සිදු කරන ලදි. චාරිකාව අතරතුර ස්විට්සර්ලන්ත දේශපාලන ක්‍රමය පිළිබඳව එම දූත පිරිසට අධ්‍යන කිරීමට අවස්තාව සැලස්සෙනු ඇත.
එමෙන්ම දෙරටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් එකොළොස් දෙනෙකුගෙන් ( 11 ) මෙම දූත පිරිස සමන්විත වනවා.