Spread the love

නිමල් රාජපක්ෂ

මෙරට කර්මාන්තකරණයේ පුනරුදයක් ඇති කිරීමට නම්, දේශීය ව්‍යාපාරිකයන් තම ඵලදායිතාව අවම වශයෙන් 30%කින් වර්ධනය කර ගැනීමේ සැලැස්මක් සකස් කළ යුතු බවයි. එමෙන්ම තම දැක්ම ජාත්‍යන්තරය දෙසට යොමු කරගෙන සිටින, ඵලදායීතා සංකල්ප වෙත යොමු වන ව්‍යවසායකයන් හට ඉදිරියේදී රජය මඟින් ලබාදෙන අඩු ‌පොලී ණය සහන, ඉඩම් ලබාදීම් වැනි සේවාවන්වලදී ප්‍රමුඛතාවයක් ලබා දීමට සූදානම් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි

කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) මගින් වසර දෙකකට වරක් පවත්වනු ලබන ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) කොළඹ දී පැවැති අවස්ථාවේදී මේ බව පැවසුවේය.

ශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබිණ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ,මේ වනවිට ජාතික ඵලදායතා ලේකම් කාර්යාලය (NPS) හරහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් දේශීය ආයතනවලට ඵලදායතා සංකල්ප පිළිබඳව නොමිලේ දැනුම ලබා දීමට කටයුතු කරන අතර සාමාන්‍යයෙන් ආයතනයකට මෙවැනි සේවා ජාත්‍යන්තර මට්ටමින් ලබා ගැනීමට දිනකට ඩොලර් 2,000ක් පමණ වැය වන බවත් දේශීය වශයෙන් අවම රුපියල් ලක්ෂයක් පමණ වැය වන බවත් පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම දැනුම ලබා දීම සඳහා අමාත්‍යාංශය සමඟ පෞද්ගලික අංශයේ ක්ෂේත්‍රයේ ඉදිරියට ගිය ආයතනවල වෘත්තිකයන් ස්වේච්ඡාවෙන් අත්වැල් බැඳගෙන සිටින්නේ, මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකමින් බවයි. එමෙන්ම 2024 වර්ෂයේ සිට මෙම වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඩිජිටල් වේදිකාවක් ඔස්සේ ක්‍රියාත්මක වීමට නියමිත බවත් , ඉදිරියේදී ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය සඳහා ආයතන 2,000ක් ලියාපදිංචි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය..

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ එස්. ජයකොඩි මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම දේශීය ආයතන රැසක ව්‍යවසායකයින් සහභාගී වුණා