Spread the love

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත් මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම තත්ත්වය සමග අපට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියනු සංවර්ධන බැංකුව කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වන ලෙස අපට දැනුම් දී තිබෙන්නේ එම නිසයි. රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමේ දී පළමු තීරණය වූයේ මේ වසරේ වියදමට අවශ්‍ය මුදල් රට තුළින් උපයා ගැනීමයි. අපට කෙසේවත් දැන් මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට බැහැ. අපට අවශ්‍ය ආදායම් රට තුළින්ම උපයාගෙන ඉදිරියට යාමට සිදුව තිබෙනවා.

එහිදී තිබූ එකම මාර්ගය වූණේ බදු වැඩි කිරීමයි. සියලුදෙනා අපට දොස් කිව්වා. නමුත් මෙම පියවර නිසා පළමු වතාවට අයවැය සඳහා මුදල් මුද්‍රණය කිරීමට අපට සිදු වුණේ නැහැ. මෙහිදී සියලුදෙනා මුහුණදුන් අසීරුතාව පිළිබඳ අපට අවබෝධයෙක් තිබෙනවා. නමුත් බදු මුදල් වැඩි කිරීම නිසා අද අපට අය වැය සඳහා ණය ලබා ගැනීමට සිදුවුණේ නැහැ. එහි ප්‍රතිඵල අද රට තුළ දක්නට තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 370ට තිබු රුපියලේ අගය දැන් 300ට පහළ බැස තිබෙනවා. ඉදිරියේදී තවත් එය පහළ අගයකට එනවා. එවිට රුපියල ශක්තිමත් වෙනවා.

ඒ වගේම උද්ධමනය අඩුවීම නිසා පොලි අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එවිට ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර දියුණුවීමත් සමඟ රට දියුණු වෙනවා. අසීරුවෙන් වුවත් ගත් පියවර නිසා අද රටට ප්‍රතිලාභ ලැබී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන් අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප කටයුතු කළා. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සමග තව වසර 02ක් පමණ ඉදිරියට යන විට අපට ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එම මුදල් රටේ සංවර්ධනයට යෙදවීමට හැකියාව ලැබෙනවා.