Spread the love

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (13) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙයි.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.