සහල් තොග නොලැබීමෙන් මරඳගහමුල සහල් තොග වෙළෙඳ සැල් වලින් කිහිපයක් විවෘතව පැවති අතර කීරි සම්බා, කැකුළු සම්බා වැනි වර්ග පමණක් ඒවායෙහි දැකිය හැකි විය.
මේ පිළිබඳ අදාළ වෙළෙඳසැල්හි හිමිකරුවන්ගෙන් සිදු කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ මරඳගහමුල ප්‍රදේශයේ පිහිටි මෝල් වල තිබූ වී, සහල් බවට පත් කොට වෙළඳ පොළට නිකුත් කොට අවසාන බවයි.
ඒ හේතුවෙන් තමන්ගේ මෝල් වසා දමා ඇති අතර විකිණීමට සහල් නොමැති වීමෙන් වෙළෙඳසැල් ද වසා දැමීමට සිදුව ඇතැයි ඔවුහු සඳහන් කළහ.
දිවයිනේ වෙනත් ප්‍රදේශවල සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ඔවුන් විසින්ම සිල්ලරට විකුණන නිසා තමන්ට සහල් ලබා ගැනීමේ ක්‍රමයක් නැති බවද ඔවුහු කීහ.
මරඳගහමුල නගරයේ සිල්ලර වෙළෙඳසැල් වලත් හාල් ඇත්තේ සුළු ප්‍රමාණයක් බව එම වෙළෙන්දෝ සඳහන් කළහ.
පාලන මිලට යටත්ව සහල් නිෂ්පාදනය කිරීමට වී ලබා ගැනීමට නැතැයි ද වී කිලෝ එකක් රුපියල් 150 ක් පමණ වන එබැවින් එම මිලට වී ලබා ගෙන සහල් නිෂ්පාදනය කර පාලන මිලට ලබා දීම ප්රශ්නයක්ව ඇතැයි ද ඔවුහු කීහ.
මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් මරඳගහමුල ප්‍රදේශයේ වී මෝල් දිගටම වසා තැබීමට සිදුව ඇතැයිද ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.
