Spread the love

නිමල් රාජපක්ෂ

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වු සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ දෙවන පංතියේ කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගිය 30 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තා වෛද්‍ය වරියක් ඇතුලුව 14 ක දෙනෙකු පමණ කාන්තාවන් සිටි බව කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා පැවසුවේය.
දුම්රිය මගීන්ගෙන් ලද පැමිණිලි වලට අනුව මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව අද (25) පෙරවරුවේ සිදු කර තිබිණ.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් අළුයම පානදුර දුම්රිය ස්ථානයෙන් සාගරිකා දුම්රියට ගොඩවී සාමාන්‍ය මගීන් ලෙස ගමන් කොට රත්මලාන දුම්රිය ස්ථානයේදී ප්‍රවේශපත්‍ර පරික්ෂාව බම්බලපිටිය දක්වා සිදු කොට තිබේ.
මෙහිදි අත්අඩංගුවට ගත් මගීන් 27 දෙනෙකුට රුපියල් 86340/ දඩ මුදලක් ඒ මොහොතේම අයකරගෙන ඇත. ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති බැවින් ඇපකර තබාගොස් තිබේ.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය අධිකාරී සුමිත් මහතාගේ අධීක්ෂණය යටතේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරින් පාලිත පුෂ්පකුමාර මහාතාගේ මෙහෙයවීමෙන් සේවා ස්ථාන කිහිපයක දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා නිලධාරිනියන්ගේ සහාය ඇතිව මෙම වැටලිම සිදු කළහ.