ගලගෙදර කළුවාන ගම්මානයේ ජීවත්වන අඹුසැමි යුවලකගේ සිරුරෙන් සියුම් ආලෝකයක් විහිදෙන බව වාර්තා වනවා.
බැලූ බැල්මටම මෙය සිදුවිය නොහැක්කක් බවට පෙනුණත් මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ පිළිබඳ කළ මූලික පරීක්ෂණයේදී මෙම සිද්ධිය පියවි ඇසින්ම අත්දැක තිබෙනවා.]
ගලගෙදර කළුවාන ගම්මානයේ ජීවත්වන අඹුසැමි යුවළකගේ සිරුරෙන් සියුම් ආලෝකයක් විහිදෙන බවට ලැබුණු තොරතුරු අනුව මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් ඒ පිළිබඳව විමසීමට එම නිවෙස වෙත ගොස් තිබුණා.
එහිදී ඔවුන් මවිතයට පත්ව තිබුණේ අඳුරු පරිසරයකදී ඔවුන්ගේ සම මතුපිට පිරිමැදීමක් සිදුවන විට සියුම් අලෝකයක් විහිදෙන බව පියවි ඇසින් දැකගත හැකි වීම හේතුවෙන්.
වෘත්තියෙන් ගොවියෙකු වන සෙනෙවිරත්න බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්. ඩී ශ්‍රියානි කුමාරි මහත්මිය මේ අත්දැකීමට මුහුණ දෙන්නේ දිගු කාලයක සිටයි.
මොවුන්ගේ සිරුරෙන් සියුම් ආලෝකයක් නිකුත් වීම තහවුරු කිරීමට ඇති එකම බාධකය වන්නේ එය කැමරාවක පටිගත කරගත නොහැකි වීම හා අඳුරු පරිසරයකදී පියවි ඇසින් පමණක් එම ආලෝකය දැකගත හැකි වීමයි.
ශ්‍රියානි මහත්මිය සිය සිරුරෙන් මෙවැනි රශ්මියක් විහිදෙන බව අත්දකිමින් සිටින්නේ වයස අවුරුදු 13ක් තරම් කුඩා වයසේ සිටයි.
මීට වසරක පමණ කාලයක සිට සිය සැමියාද මෙම ආලෝක ධාරා අත්දැකීමට මුහුණ දෙන බවයි ශ්‍රියානි පවසන්නේ.
මොවුන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදුකළ මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසන්නේ මෙය ස්ථිති විද්‍යුතයේ ප්‍රතිඵලයක් බවයි.
