Spread the love

දින 9ක් ගත වී ඇතත් පොලිස්පති ධුරය සදහා මේ දක්වාත් පුද්ගලයෙකු නම් නො කිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අවධාරණය කරයි.

පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී. ඩී. වික්‍රමරත්නගේ ධුර කාලය පසුගිය 26 වන දා අවසන් වීමත් සමඟ මේ දක්වාත් එම ධුරයට කිසිදු පුද්ගලයෙකු නම් කර නැත.

මෙම තත්ත්වය මත පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන විසින් සිදු කරන බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අද (04) දිනයේ දී අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

නව පොලිස්පතිවරයෙකු පත් කරගැනීම සදහා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, එම කාලය සදහා වත්මන් පොලිස්පතිවරයාට යළිත් වරක් සේවා දිගුවක් ලබා දෙනු ඇති බව ද වාර්තා වෙයි.

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස 2020 වසරේ නොවැම්බර් මස පත් වූ සී.ඩී.වික්‍රමරත්න, පසුගිය මාර්තු මස 26 වැනි දා විශ්‍රාම යාමට නියමිත ව තිබුණ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දෙනු ලැබී ය.

පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳ සංවාදය බොහෝ කලක සිට පැවත එන්නක් වන අතර, මෙහි යටගියාව පිළිබඳ විවිධ පාර්ශ්වයන් හී විවිධ අදහස් දැක්වීම් හඳුනාගත හැකි ය.

ජ්‍යේෂ්ඨතා ලේඛනයේ සඳහන් ව ඇති පරිදි එහි ඉහළ ම ස්ථානවල සිටින්නේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ය.