Spread the love

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමීප සබඳතා තුළ තාක්ෂණය, සංචාරක සහ හරිත බලශක්තිය ක්ෂේත්‍රවල සහයෝගීතාවයන් සඳහා නව අවස්ථා ඉදිරියේ දී උදා වනු ඇති බව සෞදි අරාබියේ ආරම්භක දින සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞදි අරාබියේ ආරම්භක දින සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹ ICT රත්නදීප උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවය මෙරට සෞදි තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.

ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු, සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද් රජු, රාජකීය ඔටුන්න හිමි කුමරු සහ අගමැති මුහම්මද් බින් සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සෞද් සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපති, කාලිද් හම්මුද් අල් කහ්තානි සහ එරට ජනතාව වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය උණුසුම් සුබ පැතුම් එක් කරන ලදි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමීප සහ දිගුකාලීන සබඳතා වන බවත් දෙරට අතර දේශපාලනික, ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආගමික වශයෙන් පුළුල් මෙන්ම ශක්තිමත් සබඳතා සහ සහයෝගීතා වන බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

අරාබි රාජධානියේ ජීවත් වන සහ සේවයේ නියුතූ දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් දෙරටේම ආර්ථික ශක්තිමත්භාවයන් සඳහා දායක වන බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.