Spread the love

2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 21 දින සිට මැයි 31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228කදී සෞන්දර්ය විෂයයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ.

41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව දැනුම් දීඇත.

40 – සංගීතය (පෙරදිග), 42 – සංගීතය (කර්ණාටක), 45 – නැටුම් (හරත), 51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ), 41 – සංගීතය (අපරදිග), 44 – නැටුම් (දේශීය), 50 – නාට්‍ය හා රංග කලාව (සිංහල), 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයයන් හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින්, එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්යය වන බවත්, ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයයේ ප්‍රතිඵල ලබාදීම සිදු කරනු නොලබන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පාසැල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.