Spread the love

නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරකම් කළ බව කියන ‘හැලඹ රමේෂ්’ නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්අත්අඩංගුවට ගෙන ඇත.

වීරකැටිය පොල්තවානේ පදිංචි 36 හැවිරිදි එක්දරු පියෙකු වන සැකකරු දුම්වැටියක් මිලදී ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 9 වැනිදා වීරකැටිය බැදිගම පිහිටි වෙළෙදසැලකට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඉහළ මාලයේ පිහිටි නිවෙසට ඇතුළු වී එහි තිබූ රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ අසූදහසක් වටිනා රන්භාණ්ඩ, මුදල් සහ භාණ්ඩ සොරකම් කර ඇති බව අනාවරණය වී ඇත.

අදාළ පුද්ගලයා ඊයේ වීරකැටිය බැදිගම ප්‍රදේශයේ වෑන් රථයකින් යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගේ සාක්කුවේ තිබී රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම ඔහු පැමිණි බව කියන වෑන් රථයෙහි තිබී මිලිමීටර නවය වර්ගයේ ජීව පතුරොම් 13ක් සහ ටී56 පතුරොම් 2ක් ද සොයාගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව සොරකමට පැමිණි බව කියන පාපැදියක්, සොරකම් කළ භාණ්ඩ විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 21ක් වටිනා වෑන් රථයක්, මුදලින් රුපියල් ලක්ෂ 17.5ක් සහ මන්නා පිහියක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුට එරෙහිව මීට ඉහතදී ද සොරකම් හා හෙරොයින් සම්බන්ධ චෝදනා කිහිපයක් ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය. 

ඉකුත් ජූනි මාසයේදී මිද්දෙණිය තෝරකොළයායේදී වූ ද්විත්ව ඝාතනයට පැමිණි සැකකරුවන්ට යතුරුපැදිය දී ඇත්තේ ද මෙම සැකකරු බව මූලික විමර්ශනවලදී හඳුනා ගෙන ඇත.