Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n’ Lake උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද ( 24) ආරම්භ වූ අතර, ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා (2025 සැප්තැම්බර් 24-25) පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධාන 16 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වෙයි.

ඒ අනුව, මෙවර සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව; සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරත්වය සහ සුපිරිසිදු ඉන්දීය සාගර කලාපයක් පවත්වා ගැනීම යන ප්‍රධාන කුළුණු පහක් (05) ආවරණය වන පරිදි, සැසි හතරක් (04) පැවැත්වෙන අතර, නාවික හමුදා හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන්, සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වතුන් සහ මූලෝපායාඥයින් විසින් එහිදී විද්වත් අදහස් දැක්වීම සිදුකරනු ලබයි.

ඒ අනුව, අද (2025 සැප්තැම්බර් 24) මෙම අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ දේශනය පවත්වමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ගාලු කථිකාවත සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය සඳහා පැමිණීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණිය වෙත කෘතවේදීත්වය පල කරමින්, එම අවස්ථාව සඳහා සහභාගී වන, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු සියළුම දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් පිළිගැනීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති ගාලුකථිකාවත සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු අධියරයේ සිට දොළොස්වන අධියර දක්වා සාර්ථකව පැවැත්වීමට සහයවූ සියළුම පාර්ශ්වයන් වෙත නාවික හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් සිය ස්තුතිය පලකරන බව පවසන ලදී. ශ්‍රී ලංකාව පාරිසරික, සමාජීය සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ ප්‍රතිපත්තියට සමඟාමීව සමුද්‍රීය  ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ  කාර්යභාරය එහිදී නාවික හමුදාධිපති විසින්  අවධාරණය කරමින් සිය  දේශනය සිදුකෙරිණි.