Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිතය.
මේ සදහා අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු හෙට දින (03) පෙරවරුවේ ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙද පොළට අපනයනය කෙරේ. ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැගින් සතිපතා අපනයනය කිරීමට ද කටයුතු යොදා ඇත.

ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශ දෙක ආශ්‍රිතව දැනට පුළුල් ලෙස කෙසෙල් වගාව සිදුවන බැවින් අපනයනය ඉළක්ක කර ගත් කෙසෙල් සැකසුම් කළාප දෙකක් එම ප්‍රදේශවල ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෙවනගල ප්‍රදේශයේ කැවෙන්ඩිෂ් නැමැති කෙසෙල් විශේෂයත්, ඇඹිලිපිටිය හා හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව ඇඹුල් කෙසෙල් විශේෂයත් වගා කිරීමට සැළසුම් කර ඇත. මෙම වගාවන් දෙකම ආරම්භයේ දී අක්කර 200 බැගින් අක්කර 400ක වගා කෙරෙන අතර ඉන්පසුව එය අක්කර 800ක් දක්වා ව්‍යාප්ත කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සැළසුම් කර ඇත.
දැනට අපනයනය සඳහා ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් රාජංගනය හා යාපනයේ ස්ථාපිත කර තිබේ. එමෙන්ම ඇඹිලිපිටිය හා සෙවණගල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති ආරම්භ වූ පසු බරවකුඹුක හෝ ඒ ආසන්න ප්‍රදේශයක කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබා දුන්නේය.