Spread the love


නිමල් රාජපක්ෂ-

අධ්‍යාපනය ජාතික වශයෙන් වෙනස් කළ යුතුය. එය පාසලින් හා ගෙදරින් සිදු කළ යුතුය. හැදියාවක් ඇති දරුවා ඉවසීම, කැපවීම, විනය හා දරා ගැනීමේ හැකියාව ජපානයේ නම් පෙර පාසලේදී පුරුදු කරන බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.


ඇමතිවරයා මෙම අදහස් පලකලේ මැදිරිගිරිය පො/කවුඩුලුවැව මහින්ද ජාතික පාසල සඳහා ලක්ෂ 25ක ප්‍රතිපාදන මත පාසලේ සිසු දැරියන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම උදෙසා සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය මඟින් ඉදිකල ඉංග්‍රීසි ඒකකයක් සිසු අයිතියට පත් කිරීමට අද (02) දින පත්කළ අවස්ථාවේදීය.මෙහිදි අඩුපාඩුවක් පැවති ක්‍රීකට් පුහුණු පැති ක්‍රීඩාගාරයක් සිසු අයිතියට පත් කිරීමටත්, පාසලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීමටත් කටයුතු කරන ලදි. මෙම ඉදිකිරීම් සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අරමුදලෙන් සෘජුවම පාසල් සංවර්ධන අරමුදලට ප්‍රතිපාදන ලබාදෙන ලදි.

මේ රටේ ජාතික භාෂාව වෙන්න ඕන සිංහල. එකේ දෙකක් නැහැ. හැබැයි අධ්‍යාපන භාෂාව වෙන්න ඕන ඉංග්‍රීසිමයි. මෙන්න මෙතනට රට වෙනස් කරන්න අවශ්‍යයි. සිංගප්පුරුවේ පාරේ කථා කරන්නේ චීන භාෂාවයි. හැබැයි අධ්‍යාපන භාෂාව ඉංග්‍රීසි. ලෝකයට යන්න නම් මේ වෙනස පටන් ගන්නම ඕන. ජාතික ප්‍රතිපත්ති ගෙන්න ඕන. අධ්‍යාපනය ආණ්ඩු මාරු වෙනකොට එක පැත්තකින් ගේනවා ළඟම පාසල හොඳම පාසල කියලා අනෙක් පැත්තෙන් ආයේ තව එකක් එනවා මේ ක්‍රමය වෙනස් කරලා දරුවා තැලෙන ක්‍රමය සංශෝධනය කළ යුතුයි.


පාසලේ ක්‍රීඩාව හදන්න මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් කරන ඉල්ලීම් අතර, පැය දෙකක් ක්‍රීඩාව අනිවාර්ය කරන්න. කොරෙස්ට්‍රෝල්, අධික රුධිර පීඩනය හා දියවැඩියාව වයස අවුරුදු 14 – 15 දරුවන්ට ද හැදෙනවා. සෙල්ලම් කරන්නේ නැහැ, ක්‍රීඩාවක් නැහැ. ඒ වගේම මම තව ඉල්ලීමක් කළා ක්‍රීඩාවට යම් ලකුණු ප්‍රමාණයක් දෙන්න විශ්වවිද්‍යාල යන්න. ජනාධිපතිතුමාගෙන් මං ඉල්ලුවෙත් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් හදමු කියලයි. ඒ වගේම උසස් පෙළ සඳහා ක්‍රීඩා විෂය මාලාවක් ගෙන්නත් කටයුතු කරනවා. මේ සියලු ඉල්ලීම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.”යැයිද පැවසුවේය.
මේ අවස්ථාව සඳහා පොලොන්නරු දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය අස්සජි ස්වාමින් වහන්ස, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ උතුරුමැද පළාත් සංඝනායක පුජ්‍ය සිරිකෙත සිරි සීවලි නායක ස්වාමීන් වහන්ස, පො/කවුඩුලුවැව මහින්ද ජාතික පාසලේ විදුහල්පති පුජ්‍ය සාසනරතන ස්වාමින් වහන්ස ඇතුළු රේඛීය ආයතනවල නිළධාරීන්, පාසලේ ගුරුභවතුන්, ප්‍රදේශවාසීන්, පාසලේ සිසු දැරියන් සහභාගී වුහ.