බාලවයස්කරුවන් 06 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක් අතුරුදන්ව ඇති බවට පෙරේදා (10) දිනය තුළ පමණක් පොලිස් ස්ථාන 08කට පැමිණිලි ලැබී ඇත.
කාන්තාවන් 07 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ. මෙසේ අතුරුදන්ව සිටින අය අතර සිටින බාලවයස්කරුවන් 06 දෙනාගෙන් 05 දෙනෙකුම බාලවයස්කාරියන්ය.
මේ අතරින් මඩාටුගම පොලිස් ස්ථානයට පමණක් බාලවයස්කාරියන් 03 දෙනෙක් අතුරුදන්ව ඇති බවට පැමිණිලි ලැබී තිබේ. වයස අවුරුදු 15ක නොච්චියාගම පදිංචි සිසුවියක්, වයස අවුරුදු 16ක තලාවේ පදිංචි සිසුවියක් සහ වයස අවුරුදු 17ක් වන පොලොන්නරුවේ පදිංචි සිසුවියක් මෙසේ අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. මෙම දැරිවියන් අධිකරණ නියෝග මත සහතික කළ පාසලක රඳවා සිටි අය බව පොලිසිය කියයි.
මේ හැරුණුකොට කහතුඩුව සහ කෑගල්ල පොලිස් ස්ථානවලට පුද්ගල අතුරුදන් වීම් පැමිණිලි 02ක බැගින් 04ක් ලැබී තිබේ.
සෙසු පැමිණිලි ලැබී ඇත්තේ කොස්ලන්ද, වැල්ලවත්ත, දොම්පේ, ඉපලෝගම සහ කලවාන යන පොලිස් ස්ථානවලටය.
