කොළඹ 07 බාන්ස් පෙදෙසේ නිවසක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකුව කුරුඳුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙපිරිසටම අදාළ නිවසෙහි හිමිකාරීත්වය නොමැති බැවින් එය අයිති කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිකරගෙන ඇති බවයි පොලීසිය සැකකරන්නේ .
කොළඹ 07 බාන්ස් පෙදෙසේ පිහිටි නිවසක ඊයේ (07) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුවී ඇති බවට කුරුඳුවත්ත පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර ඒ යනවිටත් දෙපිරිස අතර ආරවුලක් පැවැති බව වාර්තා වෙයි.
පසුව පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.
අනතුරුව පොලීසිය සිදුකළ සොයැබීලීමේදී අනාවරණය වී ඇත්තේ අක්කර භාගයක පමණ වපසරියක් ඇති මෙම නිවස හිමිකර ගැනීමට සඳහා දෙපාර්ශ්වයක් උත්සාහ දැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.
