Spread the love


නිමල් රාජපක්ෂ-

ගංවතුර පාලනය කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.
ඒ අනුව තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල, පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කල බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

බොහෝ වැව් හා ඇළ මාර්ගවල ජපන් ජබර වැනි ආක්‍රමණශීලි වල් පැළැටි සහ දුගඳ හමන, රොන් මඩවලින් වැසී ඇති ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, අප ජලය හා තෙල් වර්ග ආදියෙන් පිරී පවතී. මිනිසුන් අන්තනෝමතිකව බැහැර කරනු ලබන මෙවැනි කැළි කසළ හේතුවෙන් ජලය දූෂණය වී ඇති අතරම නිසි පරිදි ජලය බැහැරවීමද සිදු නොවේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව සිදු කරන ලද මූලික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර වන බවයි.