හොලිවුඩයේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගන කාර්යයෙන් ඉවත්වී වැඩ වර්ජනයක් ක්රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.
එය වසර හැටක් තුළ සිදුකළ විශාලතම වර්ජනය ලෙස සැලකෙයි.
ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ් හෙවත් (SAG) සංසදය මගින් මෙම තීරණය ප්රකාශයට පත් කර ඇති අතර, සිය රංග කාර්යයන්ට අදාළ ගෙවීම් හා ලාභ බෙදිම් වඩා සාධාරණ හා විධිමත් කොන්දේසිවලට එකඟ ව සිදු විය යුතු බව ඔවුන්ගේ අදහසයි.
ඇමසොන් සහ නෙට්ෆ්ලික්ස් වැනි ආයතන තම නිෂ්පාදන හරහා විශාල ලාභ ලබන බවත් එයින් සාධාරණ කොටසක් තමන් ටද හිමිවිය යුතු බව ඔවුන් පවසයි.
හොලිවුඩයේ ශිල්පීන් 160,000ක් පමණ මේ වන විට වැඩ වර්ජනය සඳහා එකතු වී ඇත.
මේ හේතුවෙන් හොලිවුඩයේ චිත්රපට හා රූපවාහිනී නිෂ්පාදන අතිමහත් බහුතරයක් ඇණහිටිය හැකි බව වාර්තා වෙයි.
ඊයේ (13) ක්රිස්ටෝපර් නෝලන්ගේ Oppenheimer චිත්රපටයේ මංගල දර්ශනය පැවැත්වුණු අතර, ඒ සඳහා සුපිරි රංගන තරු වන සිලියන් මර්ෆි, මැට් ඩේමන් හා එමිලි බ්ලන්ට් යන අය සහභාගි නොවීමට තීරණය කළහ.
පසු ව ඔවුන් වැඩවර්ජනය ප්රකාශ කළ අතර, ඔවුන්ගේ පාගමන පැරමවුන්ට්, වෝනර් බ්රදර්ස්, ඩිස්නි සහ නෙට්ෆ්ලික්ස් ආයතන කරා යාමට නියමිත බව වාර්තා වෙයි.
මීට අමතරව කෘත්රීම බුද්ධිය භාවිතයෙන් සහ පරිගණකය භාවිතයෙන් නිර්මාණකරුවන්ගේ හා රංගන ශිල්පීන්ගේ මුහුණු සහ කටහඬ නිර්මාණය කිරීමට ද ඔවුන් සිය විරෝධය පළ කර ඇත.
