Spread the love


නිමල් රාජපක්ෂ-

එළවළු බීජ ආනයනය 2030 වසර වනවිම මුළු මනින්ම නතර කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

රටට අවශ්‍ය එළවළු බීජ වර්ග බහුල වශයෙන් ආනයනය කරන අතර ආනයනික බීජ වර්ග සඳහා ඉහළ මිලක් ගෙවීමට ගොවීන්ට සිදු වී තිබෙන බැවින් අවශ්‍ය බීජ රටතුළ නිෂ්පාදනය කිරිීමේ වැඩ පිළිවෙලක් ඉදිරියේදී දියත් කිරීමට පියවර ගැනීමට නියමිතයි.

විශේෂයෙන් එළවළු මිල ඉහළ යාම පාලනය මෙන්ම එළවළු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සුදුසු ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි දෙමුහුම් බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපොළ මගින් නිෂ්පාදනය පුළුල් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව 2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින්ම නැවැත්වීම ඉළක්ක කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය එළවළු බීජ නිෂ්පාදනය අරඹා තිබේ. එකී වැඩ පිළිවෙළ යටතේ දැනට එළවළු බීජ අවශ්‍යතාවයෙන් පතෝල සියයට 100ක්, මෑකරල් සියයට 93ක්, කරවිළ සියයට 89ක්, වම්බටු සියයට 79ක්, බෝංචි සියයට 64ක්, බණ්ඩක්කා සියයට 61ක්, මාළු මිරිස් සියයට 44ක්, තක්කාලි සියයට 27ක්, රාබු සියයට 39ක් වශයෙන් බීජ නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

අපේ රටේ සමස්ත එළවළු බීජ අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 800,000 ක් පමණ වන අතර ඉන් උඩරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 100,000ක් ද පහතරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 700,000 ක්ද ලෙස බීජ අවශ්‍යතාවය පවතී.මෙම බීජ අවශ්‍යතාවය දේශීය බීජ නිෂ්පාදනයෙන් හා අනායනික බීජ මඟින් සපයා ගනු ලැබේ.

රටෙහි පවතින සාමාන්‍ය දේශගුණික තතත්ව යටතේ උඩරට එළවළු වන ගෝවා ,චීන ගෝවා,බෙල්පේපර්,බීට්,බෘකෝලි,නෝකෝල්,ලීක්ස්,සලාද වැනි බෝග කාණ්ඩයන්හි බීජ මෙරටදී නිෂ්පාදනය කල නොහැකි අතර එම බීජ අනිවාර්යෙන්ම ආනයනය කලයුතු වේ.එම අගය වාර්ෂිකව කිලෝ ග්‍රෑම් 100,000 පමණ වේ.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිපදවනු ලබන බීජ ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවි සැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.