මෙතෙක් බොහෝ රාජ්‍ය ආයතන කෝප් හා කෝපා කමිටුවට කැඳවා ඇතත් රාජ්‍ය සමාගමක් වන මිල්කෝ සමාගම මෙතෙක් කිසිදු විගණනයකට ලක් ව නැති නිසා එම සමාගම කඩිනමින් කෝප් හෝ කෝපා කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මිල්කෝ සමාගමේ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් සමග පසුගිය සිකුරාදා (15) සාකච්ඡාවක් පෑවත්වූ අතර මිල්කෝ සමාගමේ පාලන අධිකාරියේ දුර්වලතා හා අවිදිමත් පාලනය, දූෂිත ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධව වෘත්තිය සමිති නියෝජිතයෝ කරුණු දැක්වූහ.
එමනිසා මිල්කෝ සමාගමෙන් රටේ ජනතාවට සිදුවිය යුතු නිසි මෙහෙවර සිදු නොවන බවත්, දූෂණ හා වංචා නිසා එම සමාගමට විශාල මුදලක් අහිමි වන බවත්, එම තත්ත්වය නිසා මෙම සමාගම නිරන්තර පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
එමනිසා මිල්කෝ සමාගම සම්බන්ධව පූර්ණ විගණනයක් සිදු කරන්නැයි එම වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කළ ඉල්ලීම පරිදි මෙම සමාගමේ ඉහළ කළමනාකරණය වහාම කෝප් හා කෝපා කමිටු ඉදිරියට කැඳවා ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වෘත්තිය සමිති නියෝජිතයින්ට ප්‍රතිඥා දුන්නේය.
එමෙන්ම මිල්කෝ හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළ අතර මිල්කෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව සියලු වෘත්තිය සමීකි අමාත්‍යවරයාට එකඟත්වය පළ කළේය.
මෙම සමාගම් දෙක සියයට 51ක් රාජ්‍ය සතු කොටස් වශයෙන් හා සියයට 49ක් පුද්ගලික අංශය වශයෙන් ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධව මේ වනවිට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්, නමුත් අදාල ගිවිසුම්වලට එළැඹීමේ දී තවදුරටත් රටට හිමිවිය යුතු වාසි සම්බන්ධව වැඩි අවදානයක් යොමු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.