Spread the love

හිමිනමක් විසින් පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බව දෙනියාය පොලිසිය පවසයි.

මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයා රාජකාරි කටයුත්තක් සදහා සිය පුද්ගලික යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස 18 පමණ වන හිමිනමක් විසින් දෙනියාය පොලිස් වසමේ පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසළදී ඊයේ (16 ) පස්වරුවේදි පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් සිදුකල පහරදිමක් හේතුවෙන් නිලධාරියා බරපතල තුවාල ලබා තිබිණි.

එහිදි එම නිලධාරියා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමුකොට තිබූ බව පොලිසිය පවසයි.

මෙලෙස පහරකෑමට ලක්වු පොලිස් නිලධාරියා උඩගොමඩිය කටුවන ලිපිනයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර සැකකර හිමි නමගේ වයස 26 වන සහෝදරියක සමග මෙම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැවැසේ.

කෙසේ නමුත් මෙම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන හිමිනමගේ සහෝදරියගේ නිවසට ගොස් සිටියදී සැකකාර හිමිනම විසින් නිලධාරියාට දුරකථනයෙන් පණිවිඩයක් ලබා දී තිබිණි.

ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය
අසළදී හමුවී ඇතැයි සදහන්.

එම අවස්ථාවේදි සිදුවු බහින් බස්විමකින් පසුව සැකකාර හිමිනම විසින් බැගයේ සැගවා ගෙන එන ලද තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහරදි ඇතැයි පොලිසිය කියයි.

මෙම පහරදීම සිදුකළ සැකකාර හිමිනම දෙනියාය පොලිස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසියේ ස්ථානාධිපති ඩි.සි අමරරත්න මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.