කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ වීවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය,
බලශක්ති ක්ෂේත්රයේ නිරතුරුව වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සහ නියාමන රාමු තුළ අනුවර්තනය වෙමින්, තිරසරභාවය සහ නවෝත්පාදනය පෙරදැරි කරගත් පරිවර්තනීය යුගයක් ලෝකය මේ වන විට පසු කරමින් සිටිනවා.
ගෝලීය ප්රවණතාවන් මෙසේ තිබියදී, කලාපයේ විදුලි මිල අධික රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ ඉහළ ස්ථානයක බව ඔබ දන්නවා.
දශක ගණනක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමනාකරණය නිසා රට වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත පිවිසීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මෙම දැරිය නොහැකි බලශක්ති පිරිවැයයි.
අපේ රජය නව බලශක්ති ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් විශේෂයෙන් සූර්ය බලශක්තිය සහ සුලං බලශක්තිය භාවිතයට ගැනීම පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිටින්නේ අධික විදුලි පිරිවැය අවම කරගැනීම වෙනුවෙන්.
ශ්‍රී ලංකාව, කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම සඳහා ප්‍රසම්පාදන හා මිල කැඳවීම් ක්‍රියාවලිය සක්‍රීය කර තෙල් මත පදනම් වූ විදුලි ජනනය, සුර්ය හා සුළං බලය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු කිරීමට රජය කටයුතු කරමින් යනවා.
රටේ සමස්ත ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයට නිෂ්පාදකයින් වැඩි වශයෙන් දායක කර ගැනීම රජයේ අරමුණක්.
ඒවගේම දේශීය ඉංජිනේරුවන් ඇතුලු දේශිය මානවසම්පත විසින් මේ විදුලි ජනන පද්ධතිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ගැන මම සතුටට පත්වෙනවා.
ආයතනික ලෙසත්, පෞද්ගලිකවත් විදුලිය භාවිතයේදී වඩා අරපරිස්සමින් භාවිත කරමින් අනවශ්‍ය විදුලි භාවිතයන් සීමා කරමින් ජාතික ආර්ථිකයට දායක වන ලෙස ජනතාවට සැමට ආරාධනා කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මෙහි දී අදහස් දැක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
පුනර්ජනනීය විදුලි බලාගාර ඉදිකිරීමි යම් යම් දේශපාලන අරමුණු මත අඩපණ වී තිබුණා. අපේ රජයේ ප්‍රතිපත්ති අනුව යමින් නිවැරදි හා විනිවිදභාවයෙන් යුතුව ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන සිදු කරන්න කටයුතු කරනවා. විදුලි බල ක්ෂේත්රයේ අනාගතය ගැන අපි අවධානයෙන් සිටිය යුතුයි. ගල්අඟුරු බලාගාර භාවිත කළ නොහැකි තත්වයක අපිට තිබෙන විසදුම් පිලිබඳවත් අපි කල්පනා කළ යුතුයි.
