Spread the love

නිමල් රාජපක්ෂ

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද, ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘DECICIVE’ නෞකාව (EX USCGC DECICIVE) ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම දෙසැම්බර් 02 වැනි දින ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ්  ප්‍රාන්තයේ, ‘බැල්ටිමෝර්’ හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා  අංගනයේදී සිදු කෙරුණු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට පී 628 ධජ අංකය යටතේ මේ මස 02 වැනි දින සිට එක්වන මෙම නෞකාවේ ප්‍රධාන කුඹ ගසෙහි එදින සිට ශ්‍රී ලංකා ජාතික ධජය අභිමානවත්ව ඔසවනු ලබයි.

සාගර කලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ (පි 621), ‘ගජබාහු’ (පි 626) සහ ‘විජයබාහු’ (පී 627) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර, එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් සිව්වන  නෞකාව ලෙස මෙම ‘DECICIVE ’ නෞකාව ලබා දීම සනිටුහන් වෙයි.

‘B-Type Reliance Class 210-foot Cutter’ යන නෞකා පන්තියට අයත් මෙම නෞකාව දිගින් මිටර 64 ක්ද, එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 6000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 100ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වේ.