Spread the love


නිමල් රාජපක්ෂ-

රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉදිකල K K S වරායේ නව මගී පර්යන්තය වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජුනි 16 ( අද ) දින පෙරවරුවේ විවෘත කෙරිණ.


ඒ අනුව K K S වරායට පැමිණි පලමු මගී නෞකාව වන ඉන්දියාවට අයත් “ MV එම්ප්‍රස්” අති සුඛෝපභෝගී නෞකාවෙන් පැමිණි සංචාරක මගීන් 800 දෙනෙකුට රේගු හා ආගමන ,හා විගමන පහසුකම් සලසනු ලැබුවේ මෙම නව මගී පර්යන්තය මඟිනි.
කලක් නාවික හමුදාව යටතේ පාලනය වූ K K S වරාය පසුගිය කාලපරිච්ඡේදය තුළ යුධමය කටයුතු සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත් අතර, වත්මන් රජය විසින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කරන ලද සංචාරක වැඩපිලිවෙල යටතේ කන්කසන්තුරේ සංචාරක වරායක් බවට පරිවර්තනය කිරීමට තීරණය කරන ලදි.


ඒ අනුව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියත් එක්ව සතියකට වරක් මෙවැනි ඉන්දීය සුඛෝපභෝගී මගී නෞකාවක් සහ මගී යාත්‍රා ඉන්දියාවේ සිට K K S වරාය දක්වා ගෙන්වා ගැනීමට වැඩපිලිවෙලක් සකසා ඇත.
මෙම නව මගී පර්යන්තය තුළ මගීන් 200 කට පමණ එකවර පහසුකම් සැලසිය හැක. ඉදිරියේදී මෙම වරායේ සංවර්ධන කටයුතු යටතේ දැනට කැඩී බිදී තිබෙන ජැටිය පුනරුත්ථාපනය කිරීම, නව ජැටි 02 ක් සහ ගබඩාවක් ඉදි කිරීම වැනි කටයුතු සිදු කිරීමට නියමිතය.
කන්කසන්තුරේ දක්වා පැමිණි “MV එම්ප්‍රස්”නෞකාව පිටත වරායේ නැවතීමෙන් අනතුරුව, පැමිණි සංචාරක මඟීන්, බෝට්ටු මගින් වරායේ නව පර්යන්තයට පැමිණ ඔවුන්ගේ නිශ්කාෂණ කටයුතු සිදු කර ගන්නා ලදී. මෙහිදී “ MV එම්ප්‍රස්” නෞකාව කන්කසන්තුරේ වරායට පැමිණි පළමු මගී නෞකාව ලෙස සනිටුහන් කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නෞකාවේ කපිතාන්වරයා වන ඩෙනිස් ක්‍රෝප් ( Denys Corop ) මහතා අතර සමරු ඵලක හුවමාරුවක් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට උතුරු පලාතේ ආණ්ඩුකාර P S M චාල්ස් මහත්මිය, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරල් රාකේෂ් නට්රාජ් මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකයින් පිරිසක්ද සහභාගි විය.