Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ (කිලෝමීටර් 13.1) ගැලනිගම ප්‍රදේශයේදී අද (23) සවස බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබේ.

ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇති අතර ඇඟලුම් සේවිකාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථවාහන පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත.

මෝටර් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථය මෝටර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.

අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනකු ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට හා බස් රථයේ ගමන් ගත් ඇඟලුම් සේවිකාවකට අනතුරෙන් තුවාල සිදුවී තිබුණි.

බස් රථයේ ගමන් කර ඇත්තේ පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 25 දෙනෙකි.

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි ද පොලීසිය කියයි.

අනතුරින් මෝටර් රථයට බරපතළ අලාභහානි සිදුවී ඇත.