නිමල් රාජපක්ෂ
ජාතිවාදයට යළි රට තුළ කිසිදු ඉඩක් නොමැති බවත්, එය ඉතිහාසයට පමණක් අයත් වූවක් බවත්, මෙරට වර්තමාන දේශපාලන න්‍යාය පත්‍රය හෝ අනාගත දේශපාලන න්‍යාය පත්‍රය කිසිවිටෙක ජාතිවාදය මත ලියැවෙන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට අද (18) පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.
මෙහිදී ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙන මෙම අවස්ථාවේ අපේ රටේ බොහෝ කාර්ය සඳහා එම අමාත්‍යාංශ දෙකෙහි තිබෙන සුවිශේෂී මැදිහත් වීමක් නිසා කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් අපි දන්නවා, අපේ රටේ විවිධ අවස්ථාවලදී විවිධ මුහුණුවර සහිතව ජාතිවාදී ප්‍රවණතා පැන නඟිනවා. ඉතිහාසයේ දූෂණයට එරෙහි බලවේග නිසා අපේ රටේ ආණ්ඩු වැටුණා. හැබැයි, අපේ ආණ්ඩුවට එවන් චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඒ වගේම, 1994දී එතෙක් පැවති ආණ්ඩුව බිඳ වැටුණේ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගෙනයි. ඒ පිළිබඳවත්, අපේ ආණ්ඩුවට චෝදනා කරන්න බැහැ. ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කර ගෙන මෑත කාලයේ ආණ්ඩු බිඳ වැටුණා. ඒ පිළිබඳවත් මේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඒ නිසා කිසිදු සාධනීය සටන් පාඨයක් මේ පරාජිත දේශපාලන බලවේගවලට ඉතිරි වී නැහැ. ඒ නිසා පරාජිත බලවේගවල අරමුණ බවට පත්ව තිබෙන්නේ ජාතිවාදී අවස්ථා නිර්මාණය කර ගැනීමයි.
ඒ නිසා පොලීසිය, නීතිය වගේම, ඒ නීතිය ඉටු කිරීම හරහා ඇති විය හැකි සමාජ කැළඹීම් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඇතැම් ක්ෂේත්‍රවලදී ඒ හා බැදුණු දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට භාජනය කළ යුතුයි. ත්‍රිකුණාමලයෙහි බුදු පිළිමයට අදාළ ප්‍රශ්නය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ඒ වගේම මේ බුදු පිළිමය අදාළ පොලිස් ස්ථානට වැඩම කර වීම පිළිබඳව තබා තිබෙන සටහනේ ඉතා පැහැදිලිව තිබෙනවා මේ බුදු පිළිමය මෙම ස්ථානයට වැඩම කළේ ආරක්ෂාව සඳහා කියලා. හැබැයි, ඊළගට තිබෙන්නේ මොකක්ද, මෙම බුදුම පිළිම වහන්සේ පොලිස් ස්ථානයේ වැඩම කරවා තිබෙනවා නම්, ඊළගට මෙම ගැටුම එන්නේ පොලීසිය සහ ඒ ජාතිවාදී කණ්ඩායම් අතර කියලා. ඒ නිසා නැවත එම ස්ථානයට බුදු පිළිමය වැඩම කරවා ඒ සඳහා අවශ්‍ය වන ආරක්ෂාව ලබා දී තිබෙනවා.
