Spread the love

නිමල් රාජපක්ෂ


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ “ඉන්දු – ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල” ඊයේ (13 දා) “හැව්ලොක් සිටි මෝල්” සුපිරි වෙළඳසැල් සංකීර්ණ පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම ප්‍රදර්ශණය නොවැම්බර් 16 දා දක්වා දින 4 ක් පැවැත්වෙයි.

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා අලෙවි පහසුකම් ලබාදීම, එම ශිල්පීන්ගේ නිර්මාණ අතරමැදියන්ගෙන් තොරව ගැනුම්කරුවන් වෙත සෘජුව අලෙවිකර ගැනීමට අවස්ථාව උදාකර දීම, ශ්‍රී ලාංකිකයන්ට විදේශීය හස්ත කර්මාන්ත නිර්මාණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම යන කරුණු අරමුණුකර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුනි.

දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ඇතුළත් නිර්මාණ අලෙවි කුටි සියයකින් යුක්ත මෙම “ඉන්දු – ලංකා හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උළෙල” ලාංකික හා ඉන්දියානු සංස්කෘතික අංග රැසකින්ද සමන්විත වෙයි.

මෙහි සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ඇතුළු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි අයේෂා වික්‍රමසිංහ, දේශීය හා විදේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.