Spread the love

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බව ද පැවසුවේය.

මේ අතර දිවයින පුරා දේවස්ථාන, වෙළෙඳසැල් ඇතුළු තදබදයන් පවතින පොදු ස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට නියමිතය.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“මේ සියලු දේ ඔබ වෙනුවෙන් සිදුකිරීමට ඔබගේ සහාය අවශ්‍යයි. ඔබ අසල සිටින නන්නාඳුනන පුද්ගලයින් ඒ වගේම සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම තියෙන පොලීසියට දැනුම් දෙන්න. ඔබගේ දේපළ, මුදල් ගැන නිරතුරුව සුපරික්ෂාකාරී වෙන්න.”