Spread the love

නිමල් රාජපක්ෂ

බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ දිනය, අපගේ ඉතිහාසයේ ඉතා සංවේදී සහ වේදනාබර පරිච්ඡේදයක් නැවත සිහිපත් කරවන දිනයක්. යුද්ධ, අරගල, සහ විවිධ දේශපාලනික අර්බුද හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ, ඔවුන්ගේ ඉරණම ගැන කිසිදු තොරතුරක් නොමැතිව වේදනාවෙන් කල් ගෙවන දහස් ගණනක් වූ පවුල් ගැන අප අදත් සිහිපත්
කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එම උත්සවය අමතමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.

අද මේ රැස්ව සිටින ඔබ අත්විඳින වේදනාවට වචනවලින් අර්ථ දැක්වීමක් දිය නොහැකි බව මම හොඳින්ම දන්නවා. තමන්ගේ සැමියා, දරුවා හෝ සහෝදරයා අහිමි වූණු මවකගේ හෝ බිරිඳකගේ ශෝකය, සදහටම පවතින වේදනාවක්. අද මේ මොහොතේ, ඔබ සමග ඒ වේදනාව බෙදා හදා ගැනීමටත්, ඔබේ දුක්ගැනවිලි පිළිබඳව අපේ අවධානය යොමු කිරීමටත් මම මෙහි සිටින්නේ ඉතා සංවේදී හැඟීමකින් යුතුවයි.
අද මේ රැස්ව සිටින බොහෝ දෙනෙකුට, අතුරුදහන්වීම අතීත සිදුවීමක් පමණක් නොවෙයි. ජීවමානව පවතින තුවාලයක්. හැම උදෑසනකම, ඔබ අවදි වන්නේ “මගේ පුතා කොහෙද? මගේ දුව කොහෙද? මගේ සැමියා, මගේ බිරිඳ, මගේ පියා, මගේ මව කොහෙද? ඔවුන්ට සිදුවූයේ කුමක්ද” යන පිළිතුරු අපේක්ෂාවෙන් පෙළෙන ප්‍රශ්නයක් සමගින්.
එම නිසා මම මෙය පැහැදිලිව ප්‍රකාශ කරනවා. මෙම දිනය හුදෙක් චාරිත්‍රයකට සීමා කිරීමට අපට ඉඩ දිය නොහැකියි. වසරකට වරක් පමණක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ගැන කතා කර, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන, අපට අප කෙරෙහි විශ්වාසය තබන ජනතාව රැවටිය නොහැකියි.
අප රටේ ඉතිහාසය ප්‍රචණ්ඩත්වයේ, මර්දනයේ සහ විනාශයේ රැළිවලින් සලකුණු වී තිබෙනවා. මෙම අතුරුදහන් කිරීම් එක් කණ්ඩායමකට පමණක් සීමා නොවී වාර්ගික, ආගමික සහ දේශපාලනික තීරු හරහා ගමන් කළා. දිගු කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයේදී අතුරුදහන් වූ තම ආදරණීයයන් දෙමළ පවුල් තවමත් සොයනවා. දකුණේ කැරලි අතරතුර අතුරුදහන් වූ තරුණයින්ගේ මතකය සිංහල හදවත්වල ලැගුම්ගෙන තිබෙනවා. අවතැන්වීමේ සහ අතුරුදහන්වීමේ කැළැල් මුස්ලිම් පවුල් දරාගෙන සිටිනවා. මේ සියල්ල අප සැමට පොදුවේ අයත්වෙන ඛේදවාචකයක්.

පළමුව සත්‍යය – සත්‍යය දැන ගැනීමට සෑම පවුලකටම අයිතියක් තිබෙනවා. සත්‍යය යනු රජය විසින් ලබා දෙන තෑග්ගක් නොවේයි. සත්‍ය දැනගැනීම සහතික කළ යුතු ජනතා අයිතියක්. ඒ නිසා අපි සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. මෙය දේශපාලනික පොරොන්දුවක් හෝ සංකේතාත්මක සන්දර්ශනයක් නොවේයි. එය ඔබට සවන් දීමට, පිළිගැනීමට සහ පිළිතුරු සැපයීමට නිර්මාණය කර ඇති සියලු දෙනා ඇතුළත්කරගන්නා , විනිවිද පෙනෙනා සහ විශ්වසනීය, වින්දිතයා කේන්ද්‍ර කරගත් යාන්ත්‍රණයක් වන බව අපගේ විශ්වාසයයි.

ඒ වගේම 2000 වර්ෂයට පෙර උතුරේ දී සහ දකුණේ දී අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති මෙතෙක් විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවශ්‍ය අනුමැතිය ලබාදුන්නා. මේ කටයුතුවලට අදාළ ව රුපියල් මිලියන 375 ක් අපි වැය වේයැයි අපේක්ෂා කරනවා.

දෙවනුව යුක්තිය – බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් විසඳිය නොහැකි අභිරහස් නොවේයි. අතුරුදහන් කිරීම් යනු අපරාධයි. යුක්තිය සැමවිටම අපක්ෂපාතී, විශ්වාසනීය සහ සැබෑ විය යුතුයි. අපගේ ජාතියේ ආරක්ෂාව සහ අපගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් යන දෙකම ආරක්ෂා කරන නීතියක් අපි ඉදිරිපත් කරනවා. බලය වෙනුවෙන් යුක්තිය කිසිදා කැප නොකළ යුතුයි යන ස්ථිර අධිෂ්ඨානයේ අපි සිටිනවාතුන්වැන්න හානිපූරණය – අතුරුදහන්වූවන්ගේ පවුල්වලට අනුකම්පාවට වඩා වැඩි යමක් ලැබිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම සහ ගෞරවය ලැබිය යුතුයි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සිදු වූ හානි පූරණය කිරීමට නව ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටිනවා යැයිද පැවසුවේය.