Spread the love

ලංකාවේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට රටේ අර්බුදකාරී තත්ත්වය පහදා දෙන ලෙස කැනඩාවාසී දෙමළ හා මුස්ලිම් ජනතාව තමාගෙන් ඉල්ලීමක් කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව හා ඊට පිළියම් සෙවිය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව මෙම ජන කොට්ඨාසවලට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති හෙයින් දකුණට මෙන් ම උතුරට ද ගොස් ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දෙමළ ජනයා තමාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ඔහු කීය.

එළඹෙන මැතිවරණයේදී විශාල වෙනසක අපේක්ෂාවක් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුළ ද පවතින බව ඔවුන් සමඟ කළ සාකච්ඡාවලදී තමාට පැහැදිලි වූයේ යැයි ජාජබ නායකයා කීය.

තව ද කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඉදිරි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට පැමිණීමට සූදානම් බව පැවැසුවේ යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.