Spread the love

නිමල් රාජපක්ෂ

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, හලාවත රදගුරු ආර්. දොන් විමල් ශ්‍රී ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා (03) පැවැති අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදී තිබේ.
දේව මංගල්‍යය පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සහ ජීවිතාරක්‍ෂක සේවා අඛණ්ඩව නාවික හමුදාව මගින් ලබාදීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව, ශාන්ත ආනා මෑණියන්ගේ ප්‍රතිමාව වීථි සංචාරය කිරීම මෙවරද නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරුණු අතර, වාර්ෂික දේව මංගල්‍යයයේ අවසන් සන්ධ්‍යා දේව මෙහෙය සඳහා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වූහ.

තවද, කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සදහා නාවික හමුදාව විසින් ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් දේවස්ථානය භාර පූජකතුමන් ඇතුළු බැතිමතුන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ප්‍රශංසාව පල කිරීමද එහිදී සිදුකෙරිණි.