Spread the love

නිමල් රාජපක්ෂ

කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ තැති බවත්,.සාම විනිසුරුවන්වන ඔබ, ප්‍රජාවගේ මට්ටමින් දූෂණයට එරෙහි පළමු මිනිස් පලිහ බවට පත් විය යුතු බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ ඇමතිවරයා මෙම අදහස් පළ කළේ නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ ( 24) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.


සාමදාන විනිසුරු පදවිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ යුක්තිය ඉටුකිරීමේ වැදගත්ම කුළුණු වලින් එකක් ලෙස හඳුන්විය හැකියි. මෙම පත්වීම් ලිපි ලැබෙන විට, ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් මම ඔබට කියන්න කැමතියි,

ඔබ අද සිදුකරන්නේ තනතුරක් භාර ගැනීම පමණක් නොවේ. ඔබ ජාතිකමය වශයෙන් සිදුකරන පරිවර්තනයක වගකිවයුතු කොටස්කාරයකු බවට අද දින සිට පත්වෙනවා.

අද සිට ඔබගේ රාජකාරිය තුළ නියෝජනය විය යුත්තේ දේශපාලන පක්ෂපාතිත්වය නොවේ. සම්බන්ධතා නොවේ. ගනුදෙනු නොවේ.
ඔබේ පත්වීම නියෝජනය කරන්නේ, කුසලතා, අවංකත්වය, මහජන ගෞරවය, විනය සහ කිසිදු පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සේවය කිරීමට ඇති සූදානමයි. ඔබේ රාජකාරිය ආරම්භ වන්නේ මිනිසුන්ට උපකාර, මග පෙන්වීම සහ ආරක්ෂාව සොයන අවස්ථාවේදීයි. අද සිට ඔබ පුරවැසියා සහ රාජ්‍යය අතර පාලම බවට පත්වෙනවා.
ශ්‍රී ලංකාවට නැවතත් නැගී සිටිය හැක්කේ බොරු පොරොන්දු මගින් හෝ, දේශපාලන නාට්‍ය හරහා හෝ සටන් පාඨ හරහා හෝ නොව විනය, නීතිය, යුක්තිය, ගෞරවය සහ පිරිසිදු පාලනය මගින් පමණයි. නව යුගයක් ආරම්භ වන්නේ පිරිසිදු දෑත් සමඟයි. මහජනතාව සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම සාධාරණත්වය, අවංකබව සහ විශ්වසනීයත්වය ඉල්ලා සිටින කාලයක ඔබව සාමදාන විනිශ්චයකරුවකු ලෙස අද පත්වීම් ලබනවා.
ඔබ සේවය කරන ආකාරය අනුව රාජ්‍ය සේවය සහ නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම සිදුවෙනවා. බොහෝ කාලයක් තිස්සේ, මේ රටේ ජනතාව දූෂණය, මංකොල්ලකෑම, සීමිත පිරිසක් පමණක් ලබාගත් වරප්‍රසාද සහ බලවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනගා ඇති සමාජ දේශපාලන ක්‍රමයක් යටතේ දුක් වින්දා.

මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් වුණ නමුත් තවම ඒ දූෂිත සංස්කෘතිය වෙනස් වෙලා නැහැ. මැතිවරණයකින් කාලයක් පුරා පැළපැදියම් වුණු දූෂිත සංස්කෘතියක් වෙනස් කරන්න බැහැ.

මේ රටේ මීට පෙර වෙන කවරදාවත් නොදුටු තීව්‍රතාවයකින් අපි මත්ද්‍රව්‍ය මාෆියාවේ සහ පාතාල ජාලවල කොඳු නාරටිය බිඳ දමමින් සිටිනවා. සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස ලෙස ඔබේ භූමිකාව අතිශයින් ම මෙහිදී ඉතා වැදගත්. ඔබ ජීවත්වන සමාජයේ බිම් මට්ටමේ යුක්තියේ ඇස් සහ කන් වන්නේ ඔබයි. කතා කිරීමට බිය වන පවුල්වල ආරක්ෂකයා වන්නේ ඔබයි. බියෙන් තොරව අපරාධවලට එරෙහිව නැගී සිටීමට පුරවැසියන් දිරිමත් කරන හඬවන්නේ ඔබයි. ප්‍රජාව අධිකරණ පද්ධතිය විශ්වාස කරන විට, අපරාධකරුවන්ට සැඟවිය නොහැකියි.
අපි නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීමත් බිඳවැටුණු ආයතන පද්ධති වෙත විශ්වාසය නැවත ගොඩනැගීම සිදුකරනු ලබන්නේත් පොලිස් සේවය තුළ සිදුකරණ ශක්තිමත් ප්‍රතිසංස්කරණ, යුක්තිය පසිඳලීමට උපකාරවන ඩිජිටල් පද්ධති භාවිතය, නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා නවීන අධිකරණ තාක්ෂණ ක්‍රම. දේශපාලන මැදිහත්වීම් ඉවත් කරන විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටි, පොලිස් සේවය, බන්ධනාගාර සහ ප්‍රජා පාදක යුක්තිය පිළිබඳ නව ප්‍රතිසංස්කරණ මගිනි.
“යුක්තිය වරප්‍රසාදයක් නොවේ – එය උත්පත්තියෙන් ම ලද අයිතියක්” හම්බන්තොට‍ සිංහල දරුවෙක්, යාපනයේ දෙමළ තරුණයෙක්, පුත්තලමේ මුස්ලිම් වෙළෙන්දෙක්, නුවරඑළියේ මලයහම් තේ දළු නෙලන්නියක් මේ සියලු දෙනාටම නීතිය ඉදිරියේ එකම ආකාරයෙන් ගෞරවය දැනිය යුතුයි. අපි නිර්මාණය කිරීමට සඳහා සටන් කරන ශ්‍රී ලංකාව මෙයයි. අපි අපේක්ෂා කරන ශ්‍රී ලංකාව මෙයයි. කිසිවෙකු අයුක්තියට බිය නොවන, නීතියට ඉහළින් කිසිවෙකු නොමැති ජාතියක් බවට අප පත්විය යුතුයි.
සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස, ඔබ ගන්නා සෑම තීරණයකදීම නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවට වන මූලධර්මය අනුව සිදුවිය යුතුයි. ඔබේ අත්සනට ඒ උත්තුංග බලය ඇත. ඔබේ තනතුරේ වගකීම එම බරෙන් ගන්න. ඔබේ අවංකබවින් ජීවිත වෙනස් කළ හැකියි.