Spread the love

කොස්ගොඩ, හතර මංහන්දියේදී (11) සිදුකරන ලද වෙඩි තැබිමට වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය බෙන්තොට පොලිස් වසමේ වාරාහේන වේව් හෝටලය අසල දමාගොස් තිබියදි බෙන්තොට පොලීසිය සොයාගෙන තිබේ.

අංක Wp – WO – 8818 දරණ පල්සර් වර්ගයේ මෙම යතුරු පැදිය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කොස්ගොඩ පොලීසියට 13 බාර දුන්නේය.

වෙඩි තැබීම අංක 171, නාපේ හන්දිය, කොස්ගොඩ පදිංචි මුතුමුණි සුපුන් විදුර තාරක ද සිල්වා (34) නොහොත් ‘බාලේ’නැමැති අය ඉලක්ක කර සිදුකරන ලද්දක් බවටද 13 දිනය වන විට පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. වෙඩි තැබීම සිදුවන විට ‘බාලේ’නැමැති අයට අයත් අංක Sp – ABC – 0539 දරණ කොල පැහැති ත්‍රීරෝද රථය පදවාගෙන ගොස් ඇත්තේ ඔහුගේ ඥාති සහෝදරයෙකු වන කලුදුර නිමුතු අභිෂාන් අභය ද තාබ්‍රෙව් (24) නොහොත් රන් මහත්තයා නැමැති අයයි. වෙඩි ප්‍රහාරයෙන් රන් මහත්තයා නැමැති අයට බරපතල තුවාල සිදුව තිබෙන අතර ඔහු මේ වන විට බළපිටිය මූලික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි. ඔහුගේ දකුණු උරහිසට, පිට ප්‍රදේශයට හා දකුණු ඇලයට වෙඩි ප්‍රහාර 03 ක් එල්ල වී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රන් මහත්තයා රෝහල් ගත කරන විටත් වෙඩි උණ්ඩ ඔහුගේ ශරීර අභ්‍යන්තරයේ තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ‘බාලේ’නැමැති අයගේ බිරිද හා ‘රන් මහත්තයා’නැමැති අයගේ වැඩි මහල් සහෝදරියද ත්‍රීරෝද රථයේ පිටුපස අසුණේ සිට ඇත. ‘බාලේ’නැමැති අයගේ බිරිදට හා ‘රන් මහත්තයා’නැමැති අයගේ සහෝදරියට යම් අසනීප තත්ත්වයක් සදහා බෙහෙත් ගැනීමට අහුන්ගල්ල ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ප.ව 6.40 ට පමණ මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන බවද පොලීසිය කියයි. වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් බවත් ඒ සදහා පැති අවියක් භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කල හැකි බවත් ඇල්පිටිය පොලිස් විශේෂ අපරාධ විමර්ශණ ඒකකය තහවරු කර ගෙන තිබේ. උණ්ඩු කොපු හෝ වෙනත් කිසිවක් වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී සොයා නොගත් නිසා වෙඩි තැබීම මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් හෝ රිවොල්වරයකින් සිදු කළේද? යන්න නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවද එම ඒකකයේ ප්‍රකාශකයෙක් සිදු කළේය.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 04 යොදවා තිබෙන බව ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාශය කියයි. කොස්ගොඩ පොලීසිය, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකය, ගාල්ල දිසා අපරාධ විර්මර්ශණ ඒකකය හා අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි යටතේ පොලිස් කණ්ඩායමක් මේ සදහා යොදවා තිබේ. මෙම වෙඩි තැබීම දැනට ඩුබායි දේශයේ රැදී සිටින විජේමුණි මධුෂාන් දිනුක ද සොයිසා (31) නොහොත් ‘ශාන් මල්ලී’ නැමැති අයගේ මෙහෙයවීම මත සිදුකර තිබෙන බවද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් තහවුරු කරගෙන තිබේ. මීට වසර 08 කට පමණ පෙර ‘ශාන් මල්ලී’ නැමැති අය අහුන්ගල්ල ‘රියූ’ හෝටලය පිටුපස මුහුදු වෙරළේ දණගස්වා ‘බාලේ’ නැමැති අය විසින් එල්ල කරන ලද කම්මුල් පහරක් හේතුවෙන් ගොඩ නැගුණ වෛරය නිසාවෙන් ඊට පළිගැනීමේ අරමුණින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වි තිබේ.

මෙම සිද්ධියට පළිගැනීම සදහාම මුතුමුණි සුපුන් විදුර තාරක ද සිල්වා (34) නොහොත් ‘බාලේ’නැමැති අය ඉලක්ක කර 2023.10.11 දින පෙ.ව. 7.10 ට පමණ අහුන්ගල්ලේ ‘ඩැනියෙල් පබ්’ බීමහල අසලදීද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන්ද ‘බාලේ’නැමැති අයගේ දිවි බේරුන අතර එයින් බරපතල තුවාල ලබා මාස කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදු වූ බවද පොලීසිය කියයි. 2023 වසරේ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදීද ‘බාලේ’නැමැති අය සමග ඔහුගේ බිරිද හා අළුත උපන් දරුවා ත්‍රීරෝද රථයේ ගමන් කර තිබූ බවද අහුන්ගල්ල පොලීසිය කියයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ආර් ආර් එම් ඩී කේ බී දුනුවිල, අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති හර්ෂ සමරකෝන්, ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති චන්දිමාල් ද සිල්වා යන නිලධාරින් ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් ඇල්පිටිය ජේෂ්ඨ පෙලිස් අධිකාරි සහ අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පරීක්ෂණ පවත්වයි.