Spread the love


නිමල් රාජපක්ෂ-

අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සෘජු සේවා සැපයීම වෙනුවෙන් ආරම්භ වූ නව සේවාව සපයන VAN HAI නෞකා ජාලයට අයත් VAN HAI A 10 නෞකාව අද දින සිය ප්‍රථම ආගමනය සමගින් කොළඹ වරායට සේන්දු විය.
VAN HAI A 10 නෞකාව කොළඹ වරායේ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) වෙත පැමිණි ම වෙනුවෙන් වූ පිළිගැනීම වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පර්යන්තයේ දී පැවැත්විණි.
අමාත්‍යතුමන් හා නෞකාවේ කපිතාන් හු ක්ෂියෝමින්ග් (HU XIAOMING) මහතා අතර නෞකාව කොළඹ වරායට පැමිණීම වෙනුවෙන් වූ සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.


මෙම අවස්ථාවේ සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ “කොළඹ වරායේ සැළසුම් සහගත කෙටිකාලීන හා දිගුකාලීන සංවර්ධන උපාය මාර්ගයන් හේතුවෙන් කොළඹ වරාය වෙත නව නෞකා සේවාවන් ආකර්ෂණය වෙමින් පවතින බවයි.
අමාත්‍යතුමන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම තත්ත්වය වඩාත් පුළුල් කිරීම වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියත් පුද්ගලික අංශයත් එක්ව කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව කොළඹ වරාය තුළ මේ වන විට විශාල සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් සිදු වෙමින් පවතින බවත්, එම ව්‍යාපෘති නියමිත කාලය තුළදී අවසන් වීමත් සමග බහලු නෞකා පමණක් නොව, මගී නෞකා, සේවා නෞකා, භාණ්ඩ නෞකා වැනි සියලු ආකාරයේ නෞකාවන් සඳහා සේවා සපයන ආසියාවේ කේන්ද්‍රීය වරායක් බවට කොළඹ වරයා පත්වීමට නියමිත බවයි.
මෙම නෞකාව සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචිව යාත්‍රා කරන අතර, නෞකාවේ ගැඹුර මීටර් 14.4කි. දිග මීටර් 335 වන නෞකාව මීටර් 51ක පළලකින් යුක්තය. නෞකාවේ දේශීය නියෝජිතයා වන්නේ මැක්ලරන්ස් ෂිෆින් ආයතනයයි. මෙම නෞකාව බහලු 14000ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවකි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, CICT පර්යන්තයේ ප්‍රධාන විධායක නිලධාරි ජැක් හුවැන්ග් යන මහත්වරු හා ශ්‍රී ලංකා වරාය අධිකායේ, CICT පර්යන්ත සමාගමේ හා නෞකාවේ දේශීය නියෝජිත මැක්ලර්න්ස් ෂිපින් සමාගමේ උසස් නිලධාරීන් සහභාගි වූහ