Spread the love

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (14) උදෑසන 7.00 ට ආරම්භකෙරිණ.

ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත මේ සඳහා භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ඡන්ද පොළට ගිය පසු ඔබට ලැබෙන ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාවේ ඇති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියෙන් කතිරය (X) සලකුණු කිරීම හරහා එම පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ඔබගේ ඡන්දය සලකුණු කළ හැකි වෙයි.

ඉන් අනතුරුව ඔබ ඉහත සලකුණු කළ පක්ෂයේ අපේක්ෂකයින්ට මනාප පළ කරන්නේ නම් එම අපේක්ෂකයාගේ අංකය මත කතිරය සලකුණු කිරීමෙන් ඔබගේ ඡන්දය ලබාදිය හැකි අතර උපරිම වශයෙන් තිදෙනෙකුට මනාප සලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.