ගොඩබිම ‘ටෝනේඩෝ’ තත්ත්වයක් හෝ ජලය ආශ්‍රිතව ‘දියගොබවලා’ ඇති වූ අවස්ථාවක ඒ අසලටවත් නොයා ආරක්ෂාකාරීව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.
මේ දියගොබවලා හා ටොනේඩෝ තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති නිසා එය අවදානම් සහගත තත්ත්වයක් බව ද අධ්යක්ෂ ජනරාල්වරයා කීය.
මේ හේතුවෙන් ඒවා ගමන් කරන මාර්ගයේ ඇති සියලු දේ ඒ තුළට ඇද ගන්නා නිසා එවන් තත්ත්වයක් ඇති වූ විට ඡායාරූප ගැනීමට හෝ වීඩියෝගත කිරීම වැනි අවදානම් සහගත ක්‍රියාවලින් වැළකිය යුතු යැයි ද ඔහු අවධාරණය කළේය.
ඉකුත් සිකුරාදා (සැප්. 22) දිනයේදී බම්බලපිටියට ආසන්න මුහුදේ ඇති වූ දියගොබවලාව ද එවැනි අවදානම් සහගත තත්ත්වයක් බව හෙතෙම කීය.
ටොනේඩෝ සහ දියගොබවලා යනු එක ම තත්ත්වයක් වුවත් ගොඩබිම ආශ්‍රිතව ඇතිවන තත්ත්වය ටොනේඩෝ ලෙස හඳුන්වන බව ත්, යම් ජල පද්ධතියකට ඉහළින් ඇතිවන තත්ත්වය දියගොබ වලා ලෙස හඳුන්වන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
“දියගොබවලාවක් කියන්නේ වලාකුළක්. අපි මේක කැටි වැහි වලාකුළක් විදිහට හඳුන්වනවා. අකුණු සහිත වර්ෂාවක් ලැබෙන්නේ ඒ කැටි වලාකුළු තුළින්. ඒ වලාකුළේ ම පහළින් වලිගයක් නිර්මාණය වෙනවා. එවන් තත්ත්වයක් තමයි බම්බලපිටියේදී පහුගිය දා ඇතිවෙලා තිබුණේ. අධික වියළි කාලගුණ තත්ත්වයකින් පසුව දැඩි වර්ෂාවක් ඇතිවන අවස්ථාවල මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ වළාකුළු ඇතුළේ අඩු පීඩන කලාප තියෙනවා. අර වලිගය ස්පර්ශ වෙන සියලු ම ප්‍රදේශවල තියෙන දේවල් අඩු පීඩන කලාපය තුළට ඇදලා ගන්නවා.
බොහෝ විට මුහුදු ජලයේ හෝ වෙනත් ජල කලාපයකට ඉහළින් මෙවැනි පද්ධතියක් ඇති වුණොත් ඒ ජලාශයේ ඉන්න මාළු ඇතුළු වෙනත් සතුන් මේ වළාකුළට ඇදලා ගන්නවා. ඒ වළාකුළෙන් වර්ෂාව ඇද හැලෙද්දී ඒ මාළු බිමට පතිත වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘මාළු වැහි වහිනවා’ කියලා කියන්නේ එවැනි අවස්ථාවකට.
වලිගයක් සහිත මෙවැනි වළාකුළක් නිර්මාණය වුණු අවස්ථාවක තැනිතලා බිමක හිටගෙන ඉන්න මනුස්සයෙක් පවා මේ වළාකුළ ඉහළට ඇදලා ගන්නවා. ඒ විතරක් නෙමෙයි අවට ඉන්න සත්තු, වාහන පවා මේ වළාකුළ ඉහළට ඇදලා ගන්නවා. ටොනේඩෝවක් නිර්මාණය වෙලා පවතින කලාපයක ඉන්නවා කියලා කියන්නේ අවදානමක් තියෙනවා කියන එක. යම් හෙයකින් ටොනේඩෝ එකක් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක
මොනම හේතුවක් නිසා හෝ ඒකෙ වලිගය අසලට ගියොත් පුද්ගලයා පවා ඇදලා ගන්නවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ අවස්ථාවල අවදානම් දේවල් කිරීමෙන් වළකින්න” යැයි ද ඔහු තවදුරටත් පැවසීය.ඉකුත් දා සිකුරාදා දිනයේදී ඇති වූ දියගොබවලාව හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයට හා ඒ අවට පිහිටි නිවාස කිහිපයකට හානි සිදු වී ඇත.
