Spread the love

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කොළඹදී පවත්වා ඇත.

මෙරට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ආරක්ෂා කර ප්‍රවර්ධනය කරමින් අපනයන විවිධාංගීකරණය සඳහා ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීම ශ්‍රී ලංකා රජයේ දැක්ම වන අතර මෙරට ආර්ථිකය නඟා සිටුවමින්  ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෝලීය වටිනාකම් දාමය හරහා ප්‍රධාන පාර්ශවයන් සමඟ සම්බන්ධවීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හවුල්කාරීත්වය වෙළඳාම සහ ආයෝජන යන දෙඅංශයෙන්ම දෙරටේ ආර්ථික වර්ධනයට ඉවහල් වන බවත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ETCA පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේම රාජ්‍ය නායකයින් එකඟතාව පළ කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසසයි.

ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්‍රමුඛ ඉන්දීය නිලධාරීන් 19 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මෙම විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්‍ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.